හෑන්ඩ් බෑග් එක ස්මාට් විදියට තබා ගනිමු

0
11


ඔබ බොහොම ලස්සන හෑන්ඩ් බෑග් එකක් පාවිච්චි කරන කාන්තාවක් වෙන්න ඇති. පිටත තියන ලස්සන ඔබේ හෑන්ඩ් බෑග් එක ඇතුළත තියෙනවද? විෂබීජ ගුහාවක්, කුණු ගොඩක් වුණු ඔබේ හෑන්ඩ් බෑග් එක ස්මාට් විදියට වෙනස් කරගන්න මේ විදියට උත්සාහ කරන්න.

හදිසි වර්ෂාවකදී තෙත කුඩය දමා ගන්න පොලිතීන් කවරයක්, ඇඳුමක් ඉරීම, සෙරෙප්පුවක් කැඩීම වගේ වෙලාවක ප්‍රයෝජනයට ගන්න ආයා කටු කිහිපයක් ඔබේ අත් බෑගයේ තබා ගන්න. සෙරෙප්පු අලවන ගම් වර්ගයක් පවා තබා ගැනීම නුවණැති ක්‍රියාවක්. ඒ වගේම සනීපාරක්ෂක තුවායක්, පැනඩෝල් පෙති කිහිපයක්, ප්ලාස්ටරයක් ආරක්ෂිතව අසුරා තබා ගන්න. මේවා කුඩා පර්ස් එකකට දමා බෑගයේ අසුරා ගැනීම හොඳ දෙයක්.

ඒ වගේම ඔබ මේකප් කරන යුවතියක් නම් ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය මේකප් බඩු කිහිපයක් තවත් කුඩා රෙදි බෑගයකට හෝ පර්ස් එකකට දමා අසුරා ගැනීමට අමතක කරන්න එපා. ටිෂූ පේපර්ස් නිතරම උවමනා වන නිසා පිටත සාක්කුවක ටිෂූ ගබඩා කර ගන්න.

මුදල් පසුම්බියේ ඇති මුදල්වලට අමතරව හෑන්ඩ් බෑගයේ ඇතුළු පොකට් එකක ගමන් ගාස්තුවට සමාන හෝ ඊට වැඩි මුදලක් තබාගන්න.

හැඳුනුම්පත හා බැංකු කාඩ් බෑගයේ ඇසිරිය යුත්තේ ඉතා ආරක්ෂිතව. හෑන්ඩ් බෑග් වල ඇති රහස් පොකට් මේ සඳහා සුදුසුයි.

හැමදෙයක්ම ඔහේ බෑගයට ඔබා ගන්නවට වඩා මේවා වෙනම කුඩා පර්ස් වල අසුරා බෑගයෙන් දමා ගැනීම ඔබට පහසුවක්.

පාවිච්චි කළ ටිෂූ, ආහාර දවටන, බස් ටිකට් හෝ බිල් නැවත බෑගයට ඔබා ගන්න එපා. ක්‍රමානුකූලව ඉවත් කරන්න.

ඔබ අසනීපයකට භාවිතා කළ බෙහෙත් සුව වූ පසුත් බෑගයේ තබන්න එපා. ඒවාත් ඉවත් කරන්න.

පරණ මේකප් බඩු ඔහේ බෑගයේ තබා ගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයෙන් ඒවා අසුරා ගන්න.

පෑන් ආදිය උතුරා ගොස් මුදල් නෝට්ටු හා ලියකියවිලි පවා විනාශ විය හැකියි. ඒ වගේම ඔබේ වතුර බෝතලය තිබෙන්නේ බෑගයේ නම් හොඳින් මූඩිය වසා තබා ගන්න.

ඔබ කාර්යාලයට ගෙනියන බෑගයේ දහවල් ආහාර රැගෙන යනවානම් එහි එක් පැත්තකත්, රූපලාවණ්‍ය බඩුබාහිරාදිය අනෙක් පැත්තේ ඇසිරීමටත් මතක තබා ගන්න. නැත්නම් හොඳම දේ, ආහාර ගෙනියන්න කුඩා රෙදි මල්ලක් භාවිතා කිරීම.

හැම විටකම අනවශ්‍ය දේ එදිනෙදා ඉවත් කරන්න. සතියකට වතාවක් වත් බෑගය සෝදා හෝ අව්වේ දමා පිරිසිදු කරගන්න. අපිරිසුදු බෑගයක් ඔබේ ස්මාට් පෙනුම නැති කර දමාවි.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here