සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන දිලිත් තැබූ X සටහන

0
3

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තැබීමට කටයුතු කිරීම දැඩි සේ හෙළා දකිමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා  X අවකාශයේ සටහනක් තබා තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කීර්තිමත් අතිදක්ෂ හමුදා නිලධාරියෙකු වන අතර දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ රණවිරුවෙකු බවය.

එවැනි විශිෂ්ට නිලධාරියෙකු මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීමට ලක්කිරීම දේශපාලන අරමුණක් සහිතව සිදුකළ බවක් පෙනීයන බවත් එහි සාධාරණත්වය සහ අභිලාෂය මෙන්ම රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගත් පියවරක්ද යන සැකය මතුවෙන බවත් දිලිත් ජයවීර මහතා පෙන්වා දෙයි.

මෙම පියවර විශ්වසනීය සාක්ෂි මත පදනම් නොවී හුදෙක් පටු දේශපාලන අරමුණු මත සිදුකර ඇත්නම් එය යුක්තිය හෑල්ලුවට ලක් කිරීමක් පමණක් නොව, අපේ සන්නද්ධ හමුදාවල චිත්ත ශක්තියට සිදුකරන බරපතළ හානියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

ජාතියේ ආරක්ෂාව උදෙසා දිවිහිමියෙන් කටයුතු කරන මිනිසුන් සහ කාන්තාවන් දේශපාලන ක්‍රියාවලියේ ගොදුරු බවට පත්නොවිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

යුක්තිය පාරදෘශ්‍ය, අපක්ෂපාතී සහ විකෘති කිරීම්වලින් තොර වියයුතු බවත් එයින් තොර ඕනෑම පියවරක් ඊට වගකිව යුත්තන්ට නොමැකෙන අඳුරු පැල්ලමක් පමණක් ඉතිරි කරනු ඇති බවත් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here