සුරූපී කරීනා කපූර් ගැන ඔබ නොදත් කතාව

0
13


බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා තාරකාවක් වන කරීනා කපූර් ඛාන් ගැන නොදන්න කෙනෙක් නෑ.

නමුත්, අද වෙද්දී සිනමා අඹරේ සුන්දරව පායා එදා මෙන්ම එකසේ ජනප්‍රියත්වයක් දිනාගෙන ඉන්න මේ සුරූපී තාරකාව මේ දක්වා පැමිණි ගමන් මඟ නම් සුන්දර නෑ. 

ඇය අත්විඳි කඳුළු, සුසුම්, පරාජයන් සහ විවිධ චෝදනා වලට සාර්ථකව මුහුණ දුන්න ඇගේ කතාව ඔබත් එක්ක බෙදාගන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. 

ජනප්‍රිය සිනමා නිළි බබිතා කපූර්ට සහ ජනප්‍රිය සිනමා නළුවෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වන රන්ධීර් කපූර්ට දාව 1980 සැප්තැම්බර් 21 වන ඇය උපත ලැබූවා.

උපතින්ම එවකට ඉතා ජනප්‍රිය සිනමා පවුලකට සම්බන්ධ වීමට ඇය වාසනාව හිමි කරගත්තෙ එලෙසිනුයි.

නමුත් ඇයට වයස අවුරුදු 8 ක් වන විට ඇගේ මව සහ පියා විවාහයෙන් වෙන්වෙන්න තීරණය කරනවා.  

එතැන් සිට ඇයට ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ ඇගේ මව සමඟිනුයි.

ජනප්‍රිය සුරූපී හින්දි නිළියක් වුනත් බබීතා කපූර් සිය දියණිය හදාවඩා ගන්නේ ඉතා සාමාන්‍ය පවුලක දරුවෙක් ලෙසයි. 

“ඇය අතිශයින් සරල මධ්‍යම පාන්තික කාන්තාවක්” කරීනා සිය මව ගැන ප්‍රකාශ කරන්නෙ එලෙසිනුයි. 

සාමාන්‍ය පවුල් වල දරුවන් වගේම පාසල් බස් රථයේ පාසල් යන්න එන්න ජෑම් සමඟ සෑදූ පාන් සැන්විචස් එක්ක ඇපල් කන සරල ජීවන රටාවකට ඔවුන් අනුගත වෙලා හිටිය. 

තරු දරුවෙක් කියල විශේෂත්වයක් ඇ‍යට කොතනකදිවත් ලැබුනෙ නැති බවයි කරීනා ප්‍රකාශ කරන්නෙ.

නමුත් ටිකෙන් ටික තරුණ වියට එළඹෙද්දි ඇය ටිකක් මුරණ්ඩු, හිතුවක්කාර ගති ලක්ෂණ පෙන්නුම් කරපු, කැරලිකාර චරිතයක් බවට පත්වුණා. 

මේ වෙද්දී ඇයට වඩා අවුරුදු 6 ක් වැඩිමහල් ඇගේ අක්ක වන කරිෂ්මා කපූර් හින්දි සිනමාවේ රඟපෑම ආරම්භ කර මුල් අවධියේ තමයි සිටියෙ. 

ඉතිං තමන්ගෙ අක්ක දිහා නිතරම අවධානයෙන් බලන් හිටිය කරීනට ඇය වගේ අඳින්න, පිරිමි ළමයි ඇසුරු කරන්න වගේම විවිධ උත්සව සහ සාද වලට සහභාගී වෙන්න ඕන කළා.

ඒත් දියණිවරුන්ගෙ විනය ගැන ටිකක් තද අදහස් දරපු බබීතා කපූර් තමන්ගෙ බාල දියණියට තහංචි දාන්න තීරණය කරා. 

ඇය සිය නිවසේ දුරකථනයට අඟුලු දැම්මත් එම අඟුළු විවෘත කරපු කරීනා ඇය කැමැත්තෙන් හිටපු පිරිමි ළමයට දුරකථනයෙන් කතා කරල ඔහුත් සමඟ එළියට යන්න අවස්ථාව ලබා ගත්ත. 

කොහොම වුනත් මේ සිදුවීමෙන් ටික දවසකට පස්සෙ කරීනව ඩෙහෙරාදූන් වල වෙල්හම් කාන්තා නේවාසික පාසලේ  නවත්වන්න බබීත කපූර් තීරණය කරා.

පස්සෙ කාලෙකදී මේ ගැන අදහස් පළකරමින් කරීනා ප්‍රකාශ කරේ ඒ ඇගේ ජීවිතය වෙනස් කළ නීති වලට ගරු කරන ආකාරය, සැබෑ නිදහස යනු කුමක්ද යැයි ඇයට කියා දුන් ස්ථානයත් බවයි.  

අවුරුදු 16 දී කඳුළු පිරි දෙනෙතින් ඩෙහෙරාදූන් වලින් සමුගත් කරීනා මුම්බායි නුවර රජයේ නීති විද්‍යාලයට ඇතුළත් වුණේ ඇගේ උසස් අධ්‍යාපනය කටයුතු සඳහායි. 

නමුත් ඇගේ අභ්‍යන්තරයේ සැඟවී සිටි සිනමා නිළියක් වීමේ දැඩි ආශාව තවදුරටත් සඟවාගෙන සිටීමට ඇයට හැකිවුනේ නැහැ. 

කරිෂ්මා සමඟ රූගත කිරීමේ කටයුතු වලට නිරන්තරයෙන් සහභාගී වුණු ඇයට එහි සිටින සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝදෙනෙක් හඳුනා ගැනීමේ වාසනාව ලැබුණා. 

සිනමාව කෙරෙහි ඇගේ නොසන්සිදෙන ආශාව සහ උනන්දුව නිසාම නීති විද්‍යාලයේ පළමු වසරෙදීම ඉන් ඉවත්වීමට ඇයට සිදුවූ අතර වයස අවුරුදු 17 දී ඇය කිෂෝර් නමිත් කපූර්ගෙ රංගන පාසලට ඇතුළත් වී රංගනය පිළිබඳ හැදෑරීම ආරම්භ කරා. 

2000 වසරේදී ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් වුන රාකේෂ් රෝෂන් සිය පුතු වන රිතික් රෝෂන් සිනමාවට හඳුන්වාදීම සඳහා අධ්‍යක්ෂණය කළ Kahoo naa Pyaar hai චිත්‍රපටයේ රිතික්ගේ පෙම්වතිය ලෙස ප්‍රධාන චරිතය රඟපෑමට ඇයට අවස්ථාව ලැබුනත් බබිතා කපූර් සහ රාකේෂ් රෝෂන් අතර ඇතිවූ මත ගැටුමක් නිසා ඒ අවස්ථාව ඇගෙන් ගිළිහී ගියා. 

නමුත් වයස අවුරුදු 20 දී සුපිරි නළු අමිතාබ් භච්චන්ගෙ පුතු වන අභිෂේක් බච්චන් සමඟ Refugee නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑමට ඇයට හැකියාව ලැබුණා. 

ඇයගේ සිනමාවේ විශාල සංධිස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන් Kabhi Kushi Kabhi Gum චිත්‍රපටයේ පූ කියන අපි කවුරුත් ආදරය කරන ආකර්ෂණීය විශ්වවිද්‍යාලය සිසුවියගේ චරිතය රඟ දක්වන්න ඇයට අවස්ථාව ලැබෙන්නෙ ඉන් අනතුරුවයි. 

අමිතාබ් සහ ජායා බච්චන්, ෂාරුක් ඛාන්, කාජල් වගේ රිතික් රෝෂන් වගේ දැවැන්ත සිනමා තරු එක්ක රඟපාන්න මේ අවස්ථාව ඇයට ලබා දෙන්නෙ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ ඇගේ මිතුරෙක්ද වන කරන් ජොහාර් විසිනුයි. 

නමුත් විවිධ චරිතයන් රඟ දැක්වීමේ ඇගේ සැබෑ රංගන හැකියාව ප්‍රේක්ෂකයන්ට දැකගත හැකිවෙන්නෙ වයස අවුරුදු 24 දී Chameli චිත්‍රපටයේ ගණිකාවකගේ චරිතය රඟ දක්වමින් ඇය පෙන්නුම් කළ දක්ෂතාවය නිසයි. 

ඉන් අනතුරුව Jub We Met වැනි විත්‍රපට හරහා විවිධ රංගන පරාසයන් තුළට පහසුවෙන් අනුකරණය වීමට ඇති ඇගේ හැකියාව හොඳින් ප්‍රදර්ශනය කරන්න ඇය සමත්වුණා. 

ඇය ගැන පුවත් මැවූ මීළඟ චිත්‍රපටය වුනේ ඇය සහ සයිෆ් අලි ඛාන් රඟපෑ ටෂාන් චිත්‍රපටයයි.

ඒ කරීනාගෙ හෝ සයිෆ් ගෙ රංගන හැකියාව නිසා නම් නෙමෙයි. චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර සයිෆ් සහ කරීනා ප්‍රේමයෙන් වෙළී ඇති බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here