සාරියට ගැලපෙන ජුවලරි තෝරා ගන්න මේ ටිප්ස් ඔබට වැදගත් වේවි.

0
16


සාරි ඔසරි අඳින ඔබ ඒවාටම ගැලපෙන්න ආභරණ දන්න කැමති බව අපි දන්නවා. කාන්තා අපිව උමතු කරවන දෙයක් තමයි ආභරණ කියන්නේ.අවම වශයෙන් වර්ග කීපයක් ආභරණ වත් ඔබේ එකතුවේ ඇති.මේ අතරින් අවස්ථාවට ගැලපෙන්න අලංකාර ලෙස මාල, වළලු , කරාඹු, මුදු තේරුවොත් ඔබව තවත් ලස්සනට පෙනෙයි. රැකියාවට , වැදගත් අවස්ථාවකට සහ උත්සව අවස්‍ථාවකට දාන ආභරණ එකිනෙකට වෙනස්.අපි මේ කතා කරන්න යන්නේ ස්මාර්ට් ඔබ ගාව තියෙන්නම ඕන කෘත්‍රිම ආභරණ ගැනයි.රන් ,රිදී, දියමන්ති වැනි ඉතා වටිනා ආභරණ වලින් වෙනස් වන මේවා අයිති වෙන්නේ විසිතුරු ආභරණ කියන වර්ගයට. ඔබේ එදිනෙදා රෙදි පිලි මිලදී ගන්නා සාප්පුවේ වගේම මේ වර්ග වලටම විශේෂ වූ කඩවලින් , අන්තර්ජාලය හරහා පහසු මිලට, නිතර වෙනස් වන මෝස්තර යටතේ ඔබට මේවා මිලට ගන්න පුලුවන්.එහෙම ගන්න පුලුවන් විසිතුරු ආභරණ වර්ග කීපයක් සහ ඒවා පලඳින්න වඩාත් ගැලපෙන අවස්ථා ගැනයි අපි මේ විස්තර කරන්නේ.

සරල මෝස්තර අඩු සාරියක් එක්ක ඔබට අවශ්‍ය සම්ප්‍රදායික පෙනුමක් ගන්න පුලුවන් මේ වගේ ආභරණ කට්ටලයක් දැම්මොත්.මාතෘකාව රිදී උනාට මේ වගේ අනුකරණ ආහරණ (imitation jewellery) අද වෙළඳපොලේ පහසු මිලට ගන්න පුලුවන්. සරල කපු සාරියකට වගේම අලුත් විදිහට අඳින්න කැමති ඔබට modern සිල්ක් සාරියකටත් ප්‍රමාණයෙන් විශාල Antique සිල්වර් මාලයකුත් ඒකට ගැලපෙන ලොකු වලලක් හෝ දෙකක් එක්ක කරාබු දෙකක්,මුද්දක් ගැලපුවොත් ලස්සනට පෙනේවි.මේවා බොහෝ විට මාලය සහ කරාබු දෙක එක සෙට් එකක් විදිහට විකුණන නිසා කරාබු ගලපන්න ඔබට මහන්සි වෙන අවස්ථාව අඩුයි.

වඩාත් ගැලපෙන්නේ – කපු, හෑන්ඩ්ලූම් සාරි ඉන්දියානු විලාසිතාවට අඳින විට

විසිතුරු ආභරණ ගැන ලියන්න පටන් අරන් රත්තරන් ගැන ලියන්නේ වැරදිලා නෙමෙයි.මේවා රන් ආලේපිත හෝ imitation gold ආභරණ. අද වෙනවිට අපේ රටේ පදික වේදිකාවේ සිට සුපිරි වෙළඳ සංකීර්ණ වලත් මේවා විකුනණ නිසා කිසිදු අපහසුවක් නැතුව අවශ්‍ය මෝස්තරේ තෝරාගන්න පුලුවන්. තැනට ගැලපෙන්න විලාසිතා කරන්න කැමති ඔබට ඇත්ත රත්තරන් මෙන්ම මේවාත් කීපයක් ඔබ සතු කර ගැනීම වැදගත්.ඒ වගේම ඕනෑම සාරියකට බය නැතුව දාන්න පුලුවන් මේ රන් ආභරණ ඔනෑම වයසක කෙනෙකුටත් ගැලපෙනවා.සම්ප්‍රදායික පෙනුමක් දෙන සාරි වලටත්, ඔසරි වලටත් මේවා බොහෝ විට ගැලපෙනවා.ඔබට කිසිම බයක් නැතුව ලොකු කරාබු,මුදු ,වළලු මේ වර්ගයේ මාලයක් එක්ක ගලපන්න පුලුවන්. රාජකාරි හෝ එදිනෙදා ගමනට ප්‍රමාණයෙන් කුඩා ඒවාත්, අනෙත් අවස්ථාවලට ප්‍රමාණයෙන් විශාල ඒවාත් ගලපන්න පුලුවන්. ඒ වගේම ඔබට ගැලපෙන ලෙස වර්ණ ගලපන්න අවශ්‍ය නම් මේවාගේ ඇති විසිතුරු ගල් වලින් ඒ පහසුවත් ඔබට දෙනවා.

වඩාත් ගැලපෙන්නේ – උත්සව අවස්ථා සඳහා ඉන්දියානු විලාසිතාවේ සාරියට සහ ඔසරියට දෙකටම ගැලපෙනවා

පබලූ මාලයක් කියන්නේ භාවිතා කරන විදිහ අනුව සරල පෙනුමක් හෝ රාජකීය පෙනුමක් ගන්න පුලුවන් ආභරණ වර්ගයක්.සරල පෙනුමක් ඇති හෑන්ඩ්ලූම් සාරියකට පබලු මාලයක් කරාඹු දෙකක් ගැලපුවොත් ඔබට අවශ්‍ය සරල වැදගත් පෙනුම ලැබේවි.
කන්ජිවාරම් (kanjeevaram) බනාරාසි ( banaarasi), ජෝර්ජට් ( georgette) වැනි හොද පෙනුමක් සහිත සාරිවලින් ඉන්දියානු විලාසිතාවට හෝ ඔසරියකින් සරසෙන විට මේ වර්ගයේ විශාල පබලු මාලයකට යන්න අමතක කරන්න එපා. ඒ වර්ණයට ගැලපෙන ප්‍රමාණයෙන් කුඩා අනෙකුත් ආභරණ ඔබේ රාජකීය පෙනුම තවත් වැඩි කරයි.

වඩාත් ගැලපෙන්නේ – ඉන්දියානු සාරියට මෙන්ම ඔසරියටද, රාජකාරී ගමනට හෝ සාමාන්‍ය උත්සව අවස්ථා සඳහා

විවිධාකාර විලාසිතා අත්හදා බලන්න කැමති තරුණ ඔබ මේ වර්ගයෙන් කීපයක් ඔබේ එකතුවට එක් කරගන්නම ඕනි. මෙහි විශේෂත්වය වන්නේ මෙය නිදහස් කලා මාධ්‍යයක් වීමයි. මෙයට ආවේනික මාධ්‍යයක් හෝ විශේෂ හැඩයක් නෑ. ඕනෑම මාද්‍යකින් නිමකල ප්‍රමාණයෙන් විශාල මාල මේ ගණයට අයත් වෙනවා. plastic පබළු, මිශ්‍ර මාධ්‍ය, ලෝහ, රෙදි ආදී විවිධාකාර මාධ්‍යවලින් මේ මාල හදනවා. සාමාන්‍ය සාරියක් සමග ඔබට හොඳ පෙනුමක් ලබාගැනීමට මේ වර්ගයෙන් හැකියාව ලැබෙනවා.ඉන්දියානු විලාසිතාවේ සාරි සමඟ ද modern kandyan සමඟ්ද ඔබට මේවා ගළපන්න පුළුවන්. සාරිය පැහැයට ප්‍රතිවිරුද්ධ පැහැය ( contrast colour) ගැලපුවොත් වඩාත් කැපී පෙනෙන පෙනුමක් ලැබේවි. මේවා බොහෝ විට පැමිණෙන්නේ සෙට් වශයෙන් නොවන නිසා අවශ්‍ය කරාබු, වළලු ආදිය වෙන වෙනම ගන්න වෙනවා.

වඩාත් ගැලපෙන්නේ – උත්සව අවස්තා වලට ඉන්දියානු විලාසිතාවේ සාරියකින් සැරසෙන ඔබට

වඩාත් ජනප්‍රිය විලාසිතාවක් නොවුණත් ඔබටම ආවේණික විලාසිතාවකින් හැඩ වීමට කැමති ඔබට මේ වර්ගය ගැලපෙනවා. ටයි ඇන්ඩ් ඩයි, බතික්, අතින් චිත්‍ර ලෙස අඳින ලද මාල, රෙදි වලින් නිමවූ පබළු හෝ මුද්‍රිත රෙදි මගින් මෙම වර්ගය මාල නිම වෙනවා. බොහෝ විට මේ වගේ මාල, pendant සහ කරාබු සෙට් එකක් හෝ බෙල්ලට හිර වූ මාලයක් ලෙස තමයි එන්නේ. සරල මෝස්තරයක් සහිත ඉන්දියානු විලාසිතාවට අඳින සාරි වලට වඩා උචිත වේ. කලාකාමි ඇහැක් තියනවනම් පොඩි මහන්සියක් උනොත් ගෙදරදීම ඔබටත් මේවා කීපයක් හදාගන්න පුලුවන්. වඩාත් ප්‍රසිද්ධ විලාසිතාවක් නොවන නිසා ඔබට කැපී පෙනෙන පෙනුමක් ලබා ගන්න පුලුවන්.

වඩාත් ගැලපෙන්නේ – තරුණ ඔබ කපු, හෑන්ඩ්ලූම්, සිල්ක් කොට්න්, සිල්ක් වැනි සාරි ඉන්දියානු විලාසිතා අඳින අවස්තා වලට

ඔබ ආභරණ මිලදී ගන්න වෙළඳපලට යනකොට මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ආභරණ සඳහා වෙළෙන්දන් බොහෝවිට යොදා ගන්නේ කහ පාටට හුරු විදුලි බුබුලු.ඔවුන් එහෙම කරන්නේ ආභරණ වල ඇති වර්ණය තවත් ඔපවත් කරන්න. ඉතින් ඔබ මාලයක් කරට දලා කණ්ණාඩියෙන් ඒ ආලෝකය යටතේ හැඩ බලලා ගෙදර ඇවිත් ඒ පාට වෙනස් බව දැනිලා තියනවාද? ඒ වෙනස වලක්වා ගන්න ඔබ පොඩ්ඩක් කහ එලිය තියන තැනින් එලියට ගිහින් සුදු එලිය යටතේ හෝ දවල් එලිය යටතේ ආභරණ වල පාට හරියට ගලපාගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here