උත්සව කාලය විතරක් නොවෙයි, වාරාවසාන නිවාඩුව, තවත් අලුත් අවුරුද්දක්. මේ සියල්ලත් එක්ක අම්ම තාත්තාට කාර්ය බහුල කාලයක් උදාවෙනවා. අලුත් පාසල් වාරය වෙනුවෙන් පොත් පත් සහ වෙනත් දේ මිළට ගන්න එපායැ..හැම දෙයකටම කල් තබා සූදානම් වීමේ වැරැද්දක්නම් ඇත්තේම නැහැ. කොහොම වුනත් දරුවන් සමග සාප්පු සවාරිය ලෑස්ති කර ගන්න පෙරාතුව මේ ගැනත් ටිකක් හිතන්න වෙනවා.
සාප්පු සවාරිය කල් තබා පටන් ගත්තාම එතරම් තදබදයක් දැනෙන්නේ නැහැ. බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ අලුත් විලාසිතාවන් වෙළඳසැලට එන්නේ උත්සව ආසන්නයේදී බවයි. එහෙම හිතනවා නම් දරුවන්ගේ පාසල් නිල ඇඳුම්, සපත්තු සහ අලුත් පංතියට අවශ්‍ය පොත් පත් වැනි දේ කල් තබා මිළට ගැනීම වැරැද්දක් නැහැ. ඒ වගේ දේවල් දරුවාට හිතේ හැටියට තෝරා බේරා ගැනීමේ නිදාහස මේ කාලයේදී ලැබෙනවා. අනිත් අතට උත්සව ආසන්නයේ ඇති වෙන අනපේක්ෂිත වියදම් සමග දරුවන්ගේ පාසල් අවශ්‍යතාවයන් අමතක වෙන්නත් පුළුවන්. මේ නිසා හැකිතාක් දුරට සෙනග තදබදය නැති කාලයේ සාප්පු යන්න සූදානම් කර ගන්නවා නම් ඉතාම වැදගත්.
තමන්ගේ අවශ්‍යතාවයන් තමන්ට රිසි විදිහට ගලපා ගන්න දරුවන්ට අවස්ථාව ලබා දීම ඉතා වැදගත්. පුතාට දුවට ඕන දේ ලැයිස්තුවක් හදන්න කිව්වාම ඔවුන්ගේ ලැයිස්තුවේ අනවශ්‍ය දේ ඇත්තේ නම් ඒවා ඉතාම කාරුණිකව බැහැර කරන්න පුළුවන්. එහෙම නැති වුනොත් වෙළඳසැලේ විසිතුරු අතර දරුවා අතරමං වුනාම දකින දකින දේ ඉල්ලන්න පුළුවන්. සාප්පු යන විට කුඩා දරුවන්ට නම් ඒ ගැන කිසිම තේරුමක් නැති නිසාත් වලහා කේතලය බදා ගන්නවා වගේ ඕනෑ දෙයයි , එපා දෙයයි බලාගෙන මව්පියන් වෙහෙසට පත් වෙන අවස්ථාවන්ද අපිට සාප්පු යන කාලයට දකින්න ලැබෙනවා.
සාප්පු යන විට සල්ලි කරත්තයක් අරගෙන ගියත් නොසෑහෙන අවස්ථාවන් අපිට ඇති වෙනවා. අපේ ඇස්තමේන්තුවේ නැති දේවල් වෙනුවෙන් මුදල් වැය කළොත් අවශ්‍යම දේ මිළට ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අම්මා ළඟ තියෙන්නේ මෙච්චරයි. ඒ සීමාව නංඟිට මල්ලිටත් ගන්න දේ තිබෙන නිසා වියදම් පිළිබඳව පාලනයක් කර ගැනීමේ අවශ්‍යතාවය දරුවාට දන්වා සිටින්න. එවිට දරුවන්ද ඔබේ ඉල්ලීම ගැන කාරුණික වෙනු ඇත.
සාප්පු සවාරිය පටන් ගන්න පෙරාතුව බඩපිරෙන ලෙස ආහාර ගැනීමට ඔබ වගේම දරුවාටත් දන්වා සිටින්න. එසේ නැත්නම් පැය බාගයක් ගෙවෙන විට සාප්පු සවාරිය පසෙක තබා බඩගින්න නිවනු පිණිස ආපනශාලාවන්ගේ පිහිට සොයන්නට ඔබට සිදු වෙනු ඇත.
ඇවිදින විට ඇති වෙන වෙහෙස සහ දහඩිය දැමීම නිසා බොහෝ සෙයින් පිපාසය දැනෙනු ඇත. එය සාමාන්‍ය සිදුවීමකි. මේ අවස්ථාවන්හිදී පැණි බීම , සිසිල් බීම වෙනුවෙන් දරුවාගේ ඇවිටිල්ල ඔබට ඉවත දැමිය නොහැකි වන්නේ ඒ වෙන විට මව්පියන්ද පිපාසයෙන් හෙම්බත්ව සිටින නිසාය. කාස්ටකේ ඇවිද ගොස් සිසිල් පානය හෝ පැණි බීම පානයේ අහිතකර තත්වය වන්නේ පසුදින වෙන විට ඇති වෙන සෙම් රෝග තත්වයයි.
ඊයේ ෂොපින් කරද්දී එපා කියද්දී කූල් බිව්වා….අද ඉතින් සෙම්ගෙඩි…මේ තත්වයට දරුවා මුහුණ දුන්නේ පිපාසයට අවශ්‍ය පානීය ජලය ඔබ වෙත ප්‍රමාණවත් පරිදි නොතිබුන නිසාවෙන් බවත් පසුවිපරම් කරන විට ඔබටම දැනෙනු ඇති.
නගරයේ විදීවල ගැටකපන්නන්ද මේ කාලය වෙන විට බොහෝ සෙයින් සැරිසරනු ඇත. ඒ නිසා මුදල් සහ ඔබ මෙන්ම දරුවන් පැළඳ සිටින රන් ආබරණ ආදිය ඇත්තේ නම් ඒ ගැනත් ආරක්ෂාව සලසා ගැනීමට උනන්දු වීම අවශ්‍ය වේ.
ඇඳුම් පැළඳුම් මිලට ගැනීමේදී ඒවා ඇඟ ලා බලන්න පෙරාතුව තමාගේ ඉණ, කොලර්, මිම්මට සරිලන ඇඳුම් ඉල්ලා ගැනීමට අවස්ථාව ඇත. ඒ ගැන අවබෝධයක් නොමැති විට ඇඳුම් කීපයක් ඇඟලා බලන්නට සිදු වෙන නිසා පවතින තදබදය අනුව අනවශ්‍ය ලෙසින් කාලය ගෙවෙනු ඇත.
අවශ්‍යතාවයන් මිළට ගැනීමෙන් පසුව මුදල් ගෙවා ලැබෙන බිල්ගත සහ ඉතිරි මුදල නිවරැදිද බැලීම අවශ්‍ය වේ. කාඩ්පතකින් ගණුදෙණු කළත් ඔබ නිතරම ඒ ගැන අවබෝධයෙන් සිටීම වැදගත්වේ. එක්තරා සුපිරි වෙළඳසැලක රුපියල් තුන්සිය ගණනක ගණුදෙණුවකදී ලබා දුන් රුපියල් දෙදහක නෝට්ටුව වෙනුවෙන් ඉතිරි මුදල ලබා දී තිබුනේ රුපියල් දහසක නෝට්ටුවකට අදාල පරිද්දෙන්ය. මෙය පසුව දුටුවත් අඩුම වශයෙන් තහවුරුව වෙනුවෙන් බිල්පත හෝ තිබුනේ නැත.එබැවින් ගණුදෙණුව සිදු වෙන තෙක් ඔබ ලබා දෙන ලද මුදලට ඉතිරි ලැබුනේදැයි ඔවුන් ඉදිරියේම ගණණය කර බලන්න.
උත්සව කාලයේදී වෙළඳ ප්‍රවර්ධන කටයුතු සමග දරුවන්ට ලැබෙන ත්‍යාග හා වෙනත් දීමනාවන් ඇත. මෙම ආකර්ශණීය දීමනාවන් විටෙක ආයතන වෙතින් නොලැබෙන්නට පුළුවන. එවන් අවස්ථාවලදී මෙම වට්ටම්, හෝ ත්‍යාග ගැන විමසා සිටීම කිසිම වරදක් නැත ඇතැම් ආයතන වෙතින් පොත් මිළට ගත් විට ප්‍රසාද ලෙසින් පොත් ලබා දෙනු ඇත. එහිදී ඔබ විසින් මෙපමණ මුදලක පොත් මිළට ගත යුතු යැයි කොන්දේසි ඇත. පොත් වැනි දේ පාසල් යන වයසේ දරුවන් සිටිනවා නම් කිසිසේත්ම ඉවත නොයන නිසා නොමිලයේ ලැබෙන මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැක. තවත් විටෙක පාවහන් මිළට ගත් විට මේස් ලැබෙන බවට පළවන ප්‍රචාරනයන් තිබුනද , ආයතන වෙතින් මෙම වරප්‍රසාද නොලැබෙන විට ඒ ගැන විමසා සිටීමේ අයිතිය ඔබට ඇත.
කොතරම් ඇඳ පැළඳ හැඩ බැලුවත් නිවසට පැමිණි පසු ඒවායේ නොගැලපීම් බොහෝ තිබිය හැක. පලුදු වුන තැන් හෝ වෙනත් හානි වුන ඇඳුම් වෙතොත් ඒවා භාරදී ඒ වෙනුවට වෙන් ඇඳුමක් මිලට ගත හැක. මේ නිසා මුලින්ම ටැග් නොකඩා එය 100% ක්ම ගැලපෙනවාය යන සෑහීමට පත් වෙන තෙක් ටැග් නොකඩන්නට දරුවන්ද දැණුවත් කරන්න. ඇතැම් මිලදී ගැනීම් වෙනුවෙන් තිබෙන ආරක්ෂණය මාස හයක, අවුරුද්දක වැනි කාලයක් වෙනුවෙන් ඇත. ඒ නිසා බිල්පත හෝ අදාල ආරක්ෂණ සහතික ප්‍රවේසම් කර ගැනීමටත් දරුවන් දැණුවත් කරන්න.
Saru FM Media