ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා හමු විය.
එහිදී මෙරට වත්මන් ආර්ථිකය මෙන්ම මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඇති වි තිබෙන තත්ත්වය පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.
ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවේ තානාපති සේවය ආරම්භ කර ගෙවී ගිය වසර 70ක කාලය තුළ මෙරට
තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම වැනි සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍ර නඟා සිටුවීමට ස්විට්සර්ලන්තය දායකත්වය සැපයූ බව සිහිපත් කළ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා එම සහයෝගය බෙහෙවින් අගය කරන බවද සඳහන් කළේය.
මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අගය කරන බව සඳහන් කළ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මහත්මිය මෙරට තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීමට සහ ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමට අඛණ්ඩ සහාය ලබාදීමට සූදානම් බවද සඳහන් කළාය.
මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන) Justine Boillat මෙනවියද සහභාගී වූවාය.

ජනාධිපති මාධ්‍ය අංශය

Saru News
















