මහනුවර ශ්‍රී දළඳා මාලිගාව විසින් සංවිධානය කරනු ලබන ‘සිරි දළඳා වන්දනාව’ අද (18) සිට ආරම්භ වනවා.
ඒ අනුව අද පස්වරු 03.30 සිට 05.30 දක්වා දළඳා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව සැලසෙනු ඇති.
මෙම පුණ්‍යකර්මය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් සහ මහනුවර නගරය කේන්ද්‍ර කරගත් රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.
හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි දළදා මාලිගාවේ සංවිධායක මණ්ඩලය නිවේදනය කර සිටියේ.
මෙහි සමාරම්භක අවස්ථාව අද දහවල් 12:30ට පමණ සිදුවන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මීට පූර්වයෙන් වර්ෂ 1828, 1882, 1972, 1978, 1991, 1995, 2001, 2004 සහ අවසන් වරට 2009 වසරේ දී සිරි දළදා වන්දනාව පැවැත්වුණා.
මෙවර දළදා ප්‍රදර්ශනය සිදු කරන්නේ වසර 16කට පසුවයි.
මෙවර සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් සලසා දී තිබෙනවා.
ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පෝලිම, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම, රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම වශයෙන්.
මේ අතර මෙම දළදා වන්දනාව හේතුවෙන් අප්‍රේල් මස 21 සිට 25 තෙක් මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 41කට විශේෂ නිවාඩු දින ලෙසට ද ප්‍රකාශයට පත් කෙරුණා.
Saru FM Media