සතුන්ගෙනුත් දරුවන්ට හානි වෙන්න පුළුවන්

0
12


පසුගිය දිනක බී.බී.සී පුවත් සේවයෙන් නිදහස් කරන ලද මෙම පුවත අපි අම්මලාටත් ඉතාම වැදගත් වෙන්න පුලුවන් කියල මට හිතුනා. ඕස්ට්‍රෙලියාවෙන් වාර්තා වුන මෙම පුවතේ සඳහන් වුනේ එක්තරා මවක් තම දරුවාගේ දිවා ආහාරය ගෙනියන කෑම පෙට්ටිය මුලුතැන්ගෙයි අඳුරු ස්ථානයක තබා තිබුන විට එයට සර්පයෙක් රිංගා ඇති බවයි.

අම්මා තම දරුවාගේ ආහාර ගෙන යන පෙට්ටියේ සර්පයා සිටිනු දැක සර්පයන් පාලනය කරන්නෙකු වෙත ඒ බව දැණුම් දුන්නා. සර්ප පාලක “රොලී බරේල් ” විසින් ලබා දුන් උපදෙස් අනුව මේ මවට කෑම පෙට්ටිය නිවසින් බැහැරට ගෙන යෑමට උපදෙස් ලැබුන අතර පසුව ඉතා ප්‍රවේසමෙන් සර්පයා මුදා හරිනු ලැබුවා.

කොහොම වුනත් “රොලී බරෙල්” පෙන්වා දෙන්නේ දරුවාගේ වාසනාවට මව විසින් මෙම සර්පයා කෑම පෙට්ටියේ සිටිනු දුටු බවයි. යම් හෙයකින් දරුවා කෑම පෙට්ටිය පාසලට රැගෙන ගියා නම් මෙම සර්පයාගේ දෂ්ටනයට ඔහු ලක්වීමට ඉඩ තිබුන බවයි. ප්‍රමාණයෙන් කුඩා වුනත් මේ සර්පයා උග්‍ර විෂ සහිත බවත් ඔහු සඳහන් කරනවා. ඔස්ට්‍රෙලියාවේ මුහුදු තීරයේ සහ රට අභ්‍යන්තරයේ මෙවන් විෂකුරු සර්පයින් හමු වෙන අතර 2000 වසරේ පටන් මේ වෙන විට මරණ 23 ක් සිදු වී ඇති  බව 2017 වසරේ ඔස්ට්‍රෙලියානු මරණ පරීක්ෂක දත්ත මගින් පෙන්වා දෙනවා.

මේ සිද්ධිය අපේ රටටත් ඉතාම සාමාන්‍යයි. අපේ රටේ වුනත් උග්‍ර විෂ සහිත සර්පයන්ගෙන් දරුවන්ට හානි සිදු වී තිබෙන බවට බොහෝ වාර්තා තිබෙනවා. ඇතැම් අවස්ථාවල නිදන ඇඳ, කොට්ටය වැනි ස්ථානයන්හි මෙම සර්පයින් රැඳී සිටිනවා.බොහෝ සර්පයින් ක්‍රියාශීලි වෙන්නේ රාත්‍රි කාලයටයි. ඒ නිසා ආලෝකයක් නොමැතිව අදුරු ස්ථානයන් වෙතට යෑම් ඊම් නොකල යුතුයි. ඒ වගේම නිදා ගැනීමට පෙරාතුව කොට්ටය, පොරවනය ආදිය පරික්ෂා කර බලන්න. දරුවාට මේ ගැන කියා දෙන්න. අද බොහෝ නිවෙස්වල දරුවන් නිදා ගැනීමට පෙරාතුව ඇඳ පිළියෙල කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් මදුරුදැල පවා අකුලා තැබීමක් නැහැ.උදේ අවදි වෙන විට මදුරුදැල අකුලා තැබීමට මෙන්ම රාත්‍රි නින්දට යෑමට පෙරාතුව හොදින් පරීක්ෂා කර බැලීමටත් දරුවන් දැණුවත් කරන්න.

එක්තරා තරුණ මවක් රාත්‍රි හතට පමණ බැල්කනියේ තිබුන මල්පෝච්චියක් නිවසට ඇතුළු කිරීමට සූදානම් වෙත්ව ඒ යට සිටි සර්පයෙකුගේ දෂ්ටනයට පත් වුණා. මේ සර්පයා පොල‍ගෙකු බව හදුනා ගත්තද විෂ හරීරගත වීම නිසා තරුණ මව අකාලයේම මියගියා.

සන්ධ්‍යා හෝ රාත්‍රි කාලයේදී එලියට පහලියට යන්නේ නම් ආලෝකයක් සමග යන සේ දරුවාට උපදෙස් ලබා දෙන්න.

තවත් සිද්ධියක් අනුව වියලි කලාපයේ එක් පාසල් දරුවෙකුගේ සපත්තුවේ රැදී සිටි සර්පයා නොදුටු දරුවා පාවහන් පැළඳ පාසලට යන අතරදී එහි සිරවී සිටි සර්පයා විසින් දෂ්ට කරන ලදුව දරුවා මිය ගිය බව වාර්තා වුනා. ඒ නිසා නිතරම සපත්තුව පයේ දැමීමට පෙරාතුව එය හොදින් පරීක්ෂා කර බැලීම වැදගත්.

සර්පයින් පමණක් නොව අදුරු අහුමුලුවල හැසිරෙන විවිධ සතුන්ද අපේ ජීවිතයට විවිධ හානි සිදු කරන්න පුලුවන්. එක්තරා පුවතක් අනුව මවක් විසින් උදේ පාන්දර දියනියට පළතුරු යුෂ බිලෙන්ඩ් කර ඇත්තේ ඒ ඇතුලත සිටි හූනාද ඇඹරී යන විදිහටයි. රයිස් කුකරයේ පවා හූනන් රැඳී සිටින්න පුලුවන්. භාජනය සේදුවත් ඔවුන් භාජනයේ ඇති කාණු වැනි තැන්හි රැදී සිටින්න පුලුවන්. ඒ නිසා භාජන සේදූ පමණින් ආරක්ෂාව ගැන සහතික වීමට බැහැ.

ඔබේ නිවසේ හරක්, බල්ලන් වැනි සතුන් ඇති කරන විට මෙම සතුන්ගේ මාර්ගයෙන් කිනිතුල්ලන් ඇතුලු වීමට තිබෙන ඉඩ ප්‍රස්තාවන්ද බොහොමයි. කිණිතුල්ලන් කණට රිංගා ගත් විට ඉතාම අපහසු අතර බොහෝ අවස්තාවන්හිදි කණ සේදීමට පවා සිදු වේ. මේ නිසා සතුන් පිරිසිදුව තබා ගැනීමට වගේම නිදන විට දරුවාගේ කණට මේ සතුන් ඇතුළුවීමට තිබෙන අවස්ථාවන් අවහිර කිරීමටත් වග බලා ගන්න.

ඒ වගේම නිවසේ සුරතලයට ඇති කරන බල්ලන්, බළලුන් , ලේනුන් වැනි කිරි බොන වර්ගයේ සතුන්ගෙනුත් සිදු වෙන හානි අඩුවක් නැහැ. මෙම සතුන් හපා කෑම නිසා හෝ කෙළ තැවරීම ජලභීතිකා රෝග තත්වය ඇති විය හැකියි.රෝගකාරක විෂබීජය ශරීරගත වීම නිසා මේ රෝග තත්වය ඇති වෙනවා. මුලින්ම මේ වෛරසය මාංශපේශින්ට බලපෑම් කරන අතර එතැන වර්ධනය වෙමින් වෛරසය ස්නායු ඔස්සේ මොළයට ගමන් කරනු ලැබේ. එහිදී පටකයන්ට සිදු වෙන හානිය ජලභීතිකාවේ උපරිම අවස්ථාව ලෙස සැලකේ.

මේ නිසා ඔබ නිවැසි සුරතලුන් ඇති කරනවා නම් ඔවුන් වෙනුවෙන් Anti Rabies Vaccination  ලබා දීමත් වැදගත්. එන්නත ලබා ගැනීම වෙනුවෙන් අදාල පලාතේ පලාත් පාලන ආයතන සහ පලාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් ජනතාව දැණුවත් කරනවා. මේ දැණුවත් කිරීම හෝ සිහිපත් කිරීම නොසලකා හරින්න එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here