ඕවින්දි විෂ්මිකා
අප්‍රේල් 07, කොළඹ (LNW): පසුගිය දින වාර්තා වූ වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කරන ලද තරුණයෙකුගේ මියයෑම සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇත.ඒ සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස් නිලධාරීන්ට මේ වන විටත් නියෝග කර ඇති බවට වාර්ථා වේ.
තවද සිද්ධිය සම්බන්ධයෙන් සහ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් සම්බන්ධව විශ්වාසනීය හා අපක්ෂපාතී විමර්ශනයක් සිදුකිරීමට ක්‍රියා කළ යුතු බවත් එහිදී නියෝග කරන ලදී.
ඒ සඳහා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කර ඇති අතර තවත් සැරයන්වරයෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ රාජකාරි තහනම් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කරන ලද පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 26 හැවරිදි තරුණයකු වන නිමේෂ්, අප්‍රේල් 1 වන දින නාවල නිවසකට අවසරයකින් තොරව ඇතුළු වූ බවට චෝදනා එල්ල වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලදී. පොලිස් වාර්තාවලට අනුව, නිමේෂ් අත්අඩංගුවට ගැනීමේදී මානසික ව්‍යාකූලතාවයකින් පෙලුණු බව පෙනෙන්නට තිබූ අතර, ඔහුගේම ආරක්ෂාව සඳහා නිලධාරීන් ඔහුව රඳවා තබා ගැනීමට පෙළඹුණු බව එහිදී තවදුරටත් සඳහන් විය.
කෙසේ වෙතත්, පොලිස් සිර මැදිරියේ සිටි කාලය තුළ, නිමේෂ් අනිසි ලෙස ක්‍රියා කළ බවට චෝදනා එල්ල වූ අතර ඊට ප්‍රතිචාර වශයෙන්, ඔහුව මුල්ලේරියාව මානසික රෝහලට මාරු කරන ලදී.එහිදී ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී 2025 අප්‍රේල් 2 වන දින අලුයම මිය ගිය බවට වාර්ථා විය.
‘’අනේ මගේ රත්තරන් පුතේ, උඹට කෝටු පාරක්වත් ඉවසන්න බැහැ පුතේ. මගේ පුතාගේ ඇඟේ මෙච්චර පාරවල් ඇයි. ගහලා මරන්නේ නැතිව පණ තියලා පුතාව මට දුන්නා නම් මගේ හුස්ම දීලා මගේ රන්කඳ මම ගෙදර ගෙනියනවා.’’ නිමේෂ්ගේ මව එලෙස හඬා වැලපෙන්නේ නිලධාරීන් ඔහුට පහර දී ඇති බවට දෝෂාරෝපණ එල්ල කරමිනි.කෙසේවෙතත් නිමේෂ්ගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන් ම සෙසු මාධ්‍යය ද පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබිණි.
එම නිසාවෙන් මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ඔහුට පහරදීමක් සිදුකර ඇත් ද යන්න තහවුරු කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා මෙම විමර්ශනය අරඹන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
තවද මෙම සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පුරා විරෝධතා රැල්ලක් පැතිර ගොස් තිබේ. මෙම ඛේදවාචකය මහජන කෝපයට හේතු වී ඇති අතර, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ යුක්තිය, සාදාරණය සහ ඒවායෙහි සිදුවන අකටයුතුකම් නීතියේ රැහැනට අසුකර ගන්නා ලෙසට ඉල්ලා විරෝධතාකරුවන් විරෝධතාවන් දියත් කර ඇත.
2025 අප්‍රේල් 6 වන දින සවස කොළඹ වැලිකඩ පොලිස් ස්ථානය ඉදිරිපිට ඉටිපන්දම් දල්වා පුද්ගලයින් 120 ක් පමණ එක්රැස් වූ විරෝධතාවයක් පැවැත්විණි. සිසුන්, ක්‍රියාකාරීන් සහ සැලකිලිමත් පුරවැසියන් ඇතුළු පිරිස නිමේෂ්ගේ මරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ කෝපය සහ ශෝකය ප්‍රකාශ කළ අතර, එය පොලිස් කෲරත්වයේ ප්‍රතිඵලයක් විය හැකි යැයි විශ්වාස කරති.
නිමේෂ්ගේ විරෝධතාවයේ සංවිධායකයෙකු වන සුචිත් අබේවික්‍රම ප්‍රකාශ කළේ නීතිය ක්‍රියාත්මක කරන්නන් අතින් රටේ ජනතාවගේ ජීවිත වලට අවදානමක් එල්ල වී ඇති නිසා මෙම සිදුවීම එක් අයෙකුට පමණක් නොව බොහෝ දෙනෙකුගේ ජීවිත වලට බලපෑම් ඇති කළ හැකිය යන්නයි.”මෙය එක් මිනිසෙකු ගැන පමණක් නොවේ,” අබේවික්‍රම පැවසීය. “ඊළඟ ගොදුර ඕනෑම අයෙකු විය හැකිය – ඔබේ මිතුරා, ඔබේ පවුලේ අය හෝ ඔබ ද විය හැකියි.”
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙම තරුණයාගේ මියයෑම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකර තිබිණි.
එම සංගමය පවසන්නේ, තරුණයා අත්අඩංගුවේ සිටියදී මාරාන්තික තුවාල ලබා ඇති බවට වාර්තා පළ වීමත් එම තුවාල තමන් විසින් ම සිදුකර ගත් ඒවා බවට ප්‍රකාශ කිරිමත් පිළිබඳව කනස්සල්ලට පත්ව ඇති බව ය.
Saru FM Media