සජිත් පිලට සම්බන්ධ මුස්ලිම් කොන්ග‍්‍රසයේ ලේකම් පාස්කු දින ප්‍රහාරය ගැන වෙනම කතාවක් කියයි… – Saru News | සිංහල

0
3

පාස්කු දින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ ලේකම්, ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් වෙනස්ම ආකාරයේ ප්‍රකාශයක් සිදුරක තිබේ.

දිනමිණ මාධ්‍යවේදී නුවන් මහේෂ් ජයවික්‍රම ඔහු සමග සිදු කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ සහරාන් හෂීම්ගේ කණ්ඩායමත් සමග ආරක්ෂක අංශවල ඇතමුන්ගේ සහ සම්බන්ධකම් පැවති බවට හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වූ සුරේෂ් සලේ පිළිගෙන තිබූ බවයි. මේ අතර සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සමගි ජන බලවේගයේ දයාසිරි ජයසේකර, හෙක්ටර් අප්පුහාමි සහ මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරු විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබිණි.

නිසාම් කාරියප්පර් මන්ත්‍රීවරයා දිනමිණ පුවත්පතට ලබාදුන් සම්පූර්ණ සාකච්ඡාව උපුටා ගෙන පහත දැක්වේ.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය ගැන සමාජයේ ඇතිව තිබෙන කතාබහ, ඉරානය හා සම්බන්ධ අන්තර්ජාතික තත්ත්වය අපට බලපාන අයුරු ආදී කාලීන දේශපාලනික හා සමාජීය කරුණු කිහිපයක් පිළිබඳ සමගි ජන බලවේගය සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්, ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් සමඟ කතාබහක යෙදෙමු.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය ගැන සමාජයේ නැවත කතාබහක් ඇතිවී තිබෙනවා. අපි එතැනින් අරඹමු ද ?

ඔව්. මම මෙතෙක් එම අපරාධයේ විමර්ශන පිළිබඳ පාර්ලිමේන්තුවේදී නිතර කතා කළ කෙනෙක්. වසර ගණනාවකට කලින් ඒ හා සම්බන්ධව සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනුණා. ඒත්, ඒක හුඟක් දුරට ගිය විශාල කුමන්ත්‍රණයක්. 2014 වර්ෂයේ සිටම සහරාන් හෂීම්ගේ කණ්ඩායමත් එක්ක ආරක්ෂක අංශවල ඇතැමුන්ගේ සහසම්බන්ධකම් පැවති බවට ඉකුත්දා අත්අඩංගුවට ගැනුණු සුරේෂ් සලේ මහත්මයාත් පිළිඅරන් තිබුණා. ඒත්, සමහර දේශපාලනඥයන් මේ කාරණය වෙනස් විදිහකටයි තවමත් පෙන්වා දෙන්නේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කාත්තන්කුඩි පල්ලියට ප්‍රහාර එල්ල කරමින් කළ ම්ලේච්ඡ ප්‍රහාරය වැනි දෙයක් නැවත ඇති නොවීම පිණිස බුද්ධි තොරතුරු ලබා ගැනීමට පාස්කු ප්‍රහාරයේ ඇතැම් සැකකරුවන් යොදා ගත් බවටත් පෙන්වා දීමට ඇතැම් දේශපාලනඥයන් උත්සාහ දරනවා. ඒ අනුව එම කාරණය නිවැරදි බවත් එහි වරදක් නැති බවටත් ඔවුන් පෙන්වා දෙනවා.

ඒත්, ඒක එහෙම නෙවෙයි. 2009 වර්ෂය වෙද්දී ඒ කියන ත්‍රස්තවාදය ඉවරයිනේ. ඒත්, සැකකාර සුරේෂ් සලේ ඇතුළු කණ්ඩායම් ඉන්පසුවත් මේ විදිහට ත්‍රස්ත කණ්ඩායම් එක්ක පැවැත්වූ සබඳතා ගැන අපිට සැකයි. මෙරට මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයෙන් තදින් බැට කෑ පිරිසක්. එය එසේ තිබියදී මුස්ලිම් ජාතිකයන් අතරින්ම ත්‍රස්ත සංවිධානයක් බිහි වෙමින් ඇති බව දැන සිටියදී එය මැඬ පැවැත්වීම වෙනුවට නඩත්තුවට සහ සහාය දීමට එවකට ඇතැම් බලධාරීන් කටයුතු කළේ ඇයි කියන ගැටලුව තවම අපට තිබෙනවා. ඒ ප්‍රශ්නය අදටත් ඉතිරියි.”

අපි වෙනතකට හැරෙමු. ඉරානය හා සම්බන්ධ අන්තර්ජාතික තත්ත්වය මෙරටට කෙසේ බලපායි කියා ඔබ විශ්වාස කරනවා ද ?

“ඒ ප්‍රශ්නය ගැන මගේ අදහස වෙනස්. මුලින්ම, රජය ඉරානයට ජාත්‍යන්තර නීති කඩ කරමින් එක් පාර්ශ්වයක් කළ ම්ලේච්ඡ ප්‍රහාරය හරි හැටි හෙළා නොදැකීම පිළිබඳ අපි සමස්ත මුස්ලිම් ජනතාවත් එක්ක කනගාටු වෙනවා. ඒත්, එය ආණ්ඩුවට ඡන්දය දුන් බහුතරයක් මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාවක්. ඒත්, පාර්ලිමේන්තුවේදීවත් ජනපතිවරයා ඒ ගැන කතා කරයි කියන බලාපොරොත්තුව ඒ අයට තිබුණා. එසේම, විදේශ අමාත්‍යාංශයත් ඒ පිළිබඳ කළ නිවේදන මඟින් ඒ ගැන විශේෂ සඳහනක් අපි දැක්කේ නැහැ. මෙරට ආරක්ෂාවට අදාළව විපක්ෂය විදිහට අපි සම්පූර්ණ සහාය දක්වනවා. එහි ගැටලුවක් පවතිනවා. ඒත්, ඉරානය මෙරට මිත්‍ර රාජ්‍යයක්. ඒ පිළිබඳ අවධානය යොමු කරන්නැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

එසේම ඉරාන අර්බුදයේ විපාකවලට මුහුණ දීමට අදාළව ජනාධිපතිවරයා සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. එය වැදගත්. ඒ අනුව කටයුතු කෙරෙයි. ඒක රජයේ වගකීමක්. ඒක කොහොම වෙයිද කියලා දැන්ම කියන්න බැහැ. තවත් මාසයක් විතර කල් ගියාම ඒක හරි ද? වැරදි ද? කියලා කියන්න පුළුවන්.”

මෙරටේ නීතියේ ආධිපත්‍යය තහවුරු වෙලා කියලා ඔබ විශ්වාස කරනවා ද ?

“නීතියේ ආධිපත්‍යය අතින් ප්‍රශ්නයක් තිබෙනවා. ඒත්, රජය නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට කැප වී නැතැයි මම කියන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔවුන්ගේ කැපවීමක් තිබෙනවා. ඒත්, ඒ කැපවීම ක්‍රියාවට නැංවීමේ පරස්පරතා දක්නට පුළුවන්. එය එසේ නොවිය යුතුයි. නොඑසේ නම් නීතිවිරෝධිව නීතියේ ආධිපත්‍යය බිල්ලට අරන් තිබෙනවා ද කියලා හරිහැටි හඳුනා ගැනීම අපහසුයි. මත්ද්‍රව්‍ය, ඝාතන, අල්ලස, දූෂණ ආදිය එකිනෙකට ඒ කියන පාරා රාජ්‍යයත් එක්ක එකට බැඳී තිබෙන්නේ. එය එසේ නොවීම පිණිස යම් කැපවීමක් ආණ්ඩුවේ ඇති බව දකින්න පුළුවන්. ඒත්, ඊළඟට එන ප්‍රශ්නය දැන් ආණ්ඩුවට අවුරුද්දකුත් පසුවෙද්දී තවම තරමක ඉබි ගමනකින් ඒ කටයුතු වීමයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අන්තර්ජාල ආරක්ෂණ පනත ආදිය අතින් ගත් විටත් එය හොඳින් දකින්න පුළුවන්.”

නැඟෙනහිර මුස්ලිම් ජනතාවගේ අපේක්ෂා ඉටු වුණාද ?

“ඒ අතින් තවදුරටත් බලධාරින්ගේ අවධානය අවශ්‍යයි. ඔවුන්ගේ සංවේදී කාරණා පිළිබඳ ආණ්ඩුව දැනට වඩා සංවේදීව බලන්න ඕනෑ. මුස්ලිම් ජනතාව හැරෙන්නට උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව පිළිබඳත් එය එසේමයි. එය නිදසුන් ඇසුරින් පෙන්වා දෙන්න පුළුවන්. පළාත් සභාව අරන් බැලුවොත්, ඒක ඒ අයට කිට්ටුම රාජ්‍යතාන්ත්‍රික ආයතනයක්. එය ස්ථාපනය නොකිරීම අඩුපාඩුවක්. එය ඒ ජනතාවගේ සංවේදී කාරණා පිළිබඳ අනවධානයෙන් කටයුතු කිරීමක්. මේ සෑම එකක්ම විසඳනවා කියන වැරදි මතය තවදුරටත් පළාත් සභා මැතිවරණය කල් යෑමෙන් පිළිඹිබු කරනවා.”

උතුරු නැඟෙනහිර ගොවි ජනතාව අතර මුස්ලිම් ජනතාව බහුලව සිටිනවා නේද ?

නැඟෙනහිර මුස්ලිම්, දෙමළ, සිංහල ජනතාවත් එක්ක ඒක එකට ගැටගැසුණු ප්‍රශ්නයක්. නැඟෙනහිර මුස්ලිම් ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ගොවිතැන එකට ගැටගැසී තිබෙනවා. ඒත්, සමහරු හිතන්නේ මුස්ලිම් ජනතාව ව්‍යාපාර මූලික කරගත් අය විදිහටයි. ඒක වැරදියි. එහෙම යම් ප්‍රමාණයක් වුණත් නැඟෙනහිර සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයක් මුහුදටයි – කුඹුරටයි බැඳී සිටින්නේ. හැබැයි, අපි මේ රජයට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. අපි ගැන බලන්නේ නැහැයි කියලා කියන්න තරම් බරපතළ කාරණා දැනට ආණ්ඩුවෙන් වෙලා නැහැ.

හැබැයි, නව වගා සංකල්ප පිළිබඳ යෝජනා මට තිබෙනවා. එසේම, දැනට වගා කෙරෙන වී වෙනුවට වෙනත් වැඩිදියුණු කළ වී පිළිබඳත් එය එසේමයි. ස්වාභාවික, කාබනික පොහොර ටිකෙන් ටික පසට එකතු කරමින් වගා කටයුතු ඇරඹීම ස්ථිරසාර කෘෂිකර්ම ප්‍රතිපත්තියක් වෙනුවෙන් වැදගත් වෙනවා. වී අස්වැන්නේ ස්වයංපෝෂිත බව කියන එක දැන් මිථ්‍යාවක් බවටයි පත්වී තිබෙන්නේ. එය මුළුමනින්ම විදේශ ආනයන මත රඳාපවතින තත්ත්වයක් දක්නට ලැබෙන්නේ. ඒ පිළිබඳ දිගුකාලීන පර්යේෂණ අවශ්‍යයි. ඒ ඒ පළාත්වල දැනට කෙරෙන විදිහ සහ ඒවා වැඩිදියුණු කිරීමට පර්යේෂණ වැඩිදුරටත් අවශ්‍යයි. විශ්වවිද්‍යාල මට්ටමෙන් ඒ වෙනුවෙන් පර්යේෂණ පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. කුඹුරුවලට අතරමැදි භෝග වගා කරමින් ස්වාභාවිකව නයිට්‍රජන් නිපදවීම ආදී ක්‍රමවේද අවශ්‍යයි. මේ පිළිබඳ ඉදිරි වසරවලදී වැඩිපුර රජයේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.

තරුණයන්ගේ රැකියා අපේක්ෂා කොහොමද ?

“තම තමන්ගේ හැකියාවන් පදනම් කරගෙන ඉදිරි වෘත්තීය ගමන් මඟ තීරණය කිරීමට තරුණයන් පෙලඹීම යහපත් ප්‍රවණතාවක් විදිහට මම දකිනවා. ඒත්, වතු ආශ්‍රිත දෙමළ ජනතාවට ජාතික වශයෙන් ඉස්මතු වීමට ඇති අවස්ථා අඩුයි. තරග විභාග මඟින් වතුකරයේ තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට යෑමටත් එතරම් අවස්ථාවක් නැති බවත් කිව යුතුයි. ඒ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕනෑ. ඒත්, ඒ අය ගැන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෘත්තීය පුහුණුව හරහා දැනට වඩා අවස්ථා සලසා දීමට ආණ්ඩුව කටයුතු කිරීම වැදගත් වෙනවා. දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් එය එසේ විය යුතුයි කියලා මම විශ්වාස කරනවා.”

ඒත්, කෝටා ක්‍රමයට රැකියා දීමට ඇතැම් දේශපාලනඥයන් පෙලඹෙන බවත් දක්නට ලැබෙනවා.

නීති අධ්‍යාපන ක්ෂේත්‍රය ගැනත් කතා කරමු ද ?

“තරග විභාග ක්‍රමය හරහා පවතින මේ අධ්‍යාපන ක්‍රමය ඇති තුරු කුමන විෂයයන් ගෙනාවත් අන්තිමේදී තරග විභාගයක් තමයි එහි කඩඉම වී තිබෙන්නේ. ඒක ශාපයක්. පොදුවේ රටේ අධ්‍යාපනය වගේම තමයි, වැඩි ලකුණු ගන්න ටියුෂන් යන්න ඕනෑනේ. ඒත් අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන්නේ ඒක නෙවෙයිනේ. හැමෝටම 60%ක පමණ පොදුවේ දැනුමක්, අවබෝධයක් ලබන ක්‍රමයක් ගැනයි එහිදී මම විශ්වාසය තියන්නේ. රැකියා අවස්ථාවන් එහෙමත් නැතිනම් ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් ගෙන එන තුරු මොන විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවත් වැඩක් නැතැයි කියලායි මම කල්පනා කරන්නේ.

සෑම විෂයයක්ම යාවත්කාලීන වීම වැදගත්. කෘත්‍රිම බුද්ධිය ප්‍රවේශමෙන් අදාළ කර ගැනීම පියවරෙන් පියවරට ක්‍රමානුකූලව කළ යුත්තක් විදිහට මම දකිනවා. අලුත් පරපුර කොහොමත් ඒ දෙසට යොමු වෙනවා.”

අපි අවසන් වශයෙන් ඔබේ පක්ෂයේ ඉදිරි කටයුතු ගැනත් කතා කරමු ?

“අපි මුස්ලිම් කොංග්‍රසය විදිහට ඉදිරි දේශපාලන කටයුතු අඛණ්ඩව කරගෙන යනවා. විශේෂයෙන් ඉදිරියේදී තරුණ පරපුරට වැඩිපුර අවස්ථාව දීමට කටයුතු කරනවා. අලුත් දේශපාලන නායකත්වයක් ඇරඹීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව පැරණි දේශපාලන නායකත්වය සහ ඒ ක්‍රමයට හුරු වූ ඇතැම් සමාජ කොටස් එතැනින් විතැන් කරමින් අලුත් මාවතකට ගෙන යෑමේ අවශ්‍යතාව අපි හඳුනාගෙන තිබෙනවා. ඒ ජනතාවට දේශපාලනය වැදගත්, කැපකිරීම් සහිත දෙයක් බවට ඒත්තු ගැන්වීමටයි. ඒ වෙනුවෙන් මම අපේ නායකතුමන් එක්ක සෑහෙන වෙහෙසක් දරනවා.

අද තරුණ පරපුර වෙනස්. විද්වතුන් පිළිබඳ පවා ඒ අයගේ ආකල්ප එදා වගේ නෙවෙයි. ඒ වචනයවත් ඒ අය එතරම් භාවිත කරන්නේ නැහැනේ. ඔවුන් සමානාත්මතාව අගය කරනවා. අධ්‍යාපනයේ සෑම ක්ෂේත්‍රයකටම ප්‍රවේශ වීමට කාටත් එකසේ අවස්ථාව තිබිය යුතුයි කියලා ඒ අය කල්පනා කරනවා. එහෙම විවෘත සහ සමාජශීලි විදිහට කල්පනා කරන තරුණ පරපුරක් එක්ක ඉදිරියට යෑම පහසුයි. ඒ අනුව අපි අපේ පක්ෂය පිළිබඳ ප්‍රසාදය වඩවන, කාටත් පිළිගත හැකි වැඩපිළිවෙළකට යොමු වීමට කටයුතු කරනවා.”


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here