ශිරන්ති, ගෝටාබය, මහින්ද ඇතුළු පිරිසක් ගැන අල්ලස් කොමිසම අධිකරණයට කියයි… – Saru News | සිංහල

0
5

නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් හා කොළඹ දුගී දුප්පත් අඩු ආදායම් ජනතාව සඳහා ඉදිකරන ලද සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ හා හිටපු නීතිපතිවරයකුගේ ඉල්ලීම් අනුව දේශපාලන හිතවතුන්ට ලබා දී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම අද (20) පවසා තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට මේ බව දන්වා ඇත්තේ, රජයට පාඩුවක් කර තවත් පිරිසකට ලාබයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නාගරික සංවර්ධන පුනර්ජනනීය වැඩසටහන් අධ්‍යක්ෂ විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සැකකරු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ දුප්පත් ජනතාවට බෙදාදීමට තිබූ නිවාස 366න් නිවාස විසි දෙකක් (22) මෙලෙස හිතවතුන්ට බෙදා දී ඇති බවය.

හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ රූපලාවණ්‍ය තෙරපීවරියට, කේශාලේපණ කළ රූපලාවණ්‍ය ශිල්පිනියට, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයකුට, ජනපති නිවෙසේ වැඩ කළ ගෘහ සේවිකාවන් දෙදෙනකුට, ජනපති නිවෙසේ වැඩ කළ ලිපිකරුවකුට, කම්කරුවකුට, නාවික හමුදාවේ ලු‍තිනන් නිලධාරියකුට, හිටපු පුවත්පත් කතුවරයකුට, දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ නිවෙසේ වැඩ කළ සේවකයකුට, ජනාධිපති කාර්යාල දිස්ත්‍රික් සම්බන්ධීකාරවරයකුට, සිංගප්පූරුවේ තානාපති කාර්යාලයක සිටි ගෘහ සේවිකාවකට, ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයකුට හා හිටපු නීතිපතිවරයකුගේ නිවසේ වැඩ කළ සේවිකාවක ඇතුළු පිරිසකට මෙම නිවාස ලබා දී ඇති බවට වන ලේඛනයක්ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

රුපියල් කෝටි 39කට අධික මුදලක් වැය කර ඉදිකළ නිවාස සංකීර්ණයේ නිවාස මෙලෙස 2014 වසරේ ලබා දී ඇති බවත් මෙමගින් රජයට පාඩුවක් සිදුවීම හා දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් පවසා තිබේ.

මෙහිදී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම පුද්ගලයන් මෙම නිවාසවල පදිංචි වී සිටින්නේදැයි විමසා ඇත.

ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසම නිවාස හතරක පුද්ගලයන් පදිංචිව නොමැති බව පවසා තිබේ. ඇතැම් නිවාස කුලියට දී ඇති බවත්, සිංගප්පූරුවේ සිටින තැනැත්තිය මෙරටට නොපැමිණියත් එම නිවාසය ලබාගෙන ඇති බවත් පවසා ඇත.

දුප්පත් ජනතාවට නිවාස ලබාදීමේදී ඔවුන් එම වතුවල වසර පහක් පදිංචිව සිටීම, ජල බිල්පත් හා විදුලි බිල්පත් තිබේ දැයි පරීක්ෂා කර ඇති බවත් අත්අඩංගුවට ගත් සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නාගරික සංවර්ධන පුනර්ජනනීය වැඩසටහන් අධ්‍යක්ෂ විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ ඒ කිසිත් නොමැති 22 දෙදෙනකුට මෙම නිවාස ලබා දී ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණට දන්වා තිබේ.


10

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here