ශාසන විරෝධී වැඩ කර කොටුවූ විහාරාධිපති වෙනුවට බෞද්ධාලෝක පිරිවෙනට අලුත් විහාරාධිපති කෙනෙක් 

0
8

ශාසන විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේ පාලක විහාරාධිපති ධුරයෙන් නෙරපා හරින ලද ගල්නෑවේ ධම්මරතන හිමිනම වෙනුවට කුරුණෑගල හේනමුල්ල ශ්‍රී රතන වර්ධනාරාමයේ විහාරාධිපති ගල්නෑ‌වේ සාසනරතන හිමියන් තාවකාලිකව පත්කර ඇත.

බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානය අයත් වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල මාහිමි සහ එම නිකායේ මහා ලේඛකාධිකාරි අත්තන්ගනේ සාසනරතන හිමිගේ අත්සනින් යුතුව එම පත්වීම සිදුකර තිබේ.

ඒ අනුව 2026.1.17 දින සිට තෙමසක කාලයක් සඳහා ගල්නෑවේ සාසනරතන හිමියන් බෞද්ධාලෝක පිරිවෙන් විද්‍යායතනයේ පාලක විහාරාධිපති ධුරයට පත්කර තිබේ.

රාමඤ්ඤ මහා නිකායේ නිකාය කතිකාවතේ වගන්තිවලට අනුව ඉදිරි තෙමස තුළදී බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානය සඳහා ස්ථිරව විහාරාධිපති හිමිනමක් පත්කිරීමට නියමිතය.

හිටපු පාලක විහාරාධිපති වශයෙන් කටයුතු කළ ගල්නෑවේ ධම්මරතන හිමියන්ට එම විහාරස්ථානයේ දායක දායිකාවන්ගෙන් සහ කුරුණෑගල ජනතාවගෙන් දිගින් දිගටම එල්ල වූ චෝදනා රැසක් සම්බන්ධයෙන් රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකාරි මණ්ඩලය විසින් කරන ලද නිකාය කතිකාවතකින් අනතුරුව පාලක විහාරාධිපති ධුරයට සාසනරතන හිමියන් පත්කිරීමට පියවර ගෙන ඇත.

හිටපු පාලක හිමිනමගේ ශාසන විරෝධි ක්‍රියා හේතුවෙන් දිවයිනේ ප්‍රකට විහාරස්ථානයක් ලෙස සැලකෙන කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේ කටයුතු දැඩි ලෙස පිරිහීමකට ලක්ව තිබෙන බවට ජනතාවගෙන් බරපතළ චෝදනා එල්ල වී තිබිණි.

මෙම විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් හිටපු පාලක විහාරාධිපති ගල්නෑවේ ධම්මරතන හිමියන් විසින් පවරා තිබී වසර 20 කට ආසන්න කාලයක් විභාග වූ නඩුවක තීන්දුවද පසුගිය සතියේදී ප්‍රකාශයට පත් කෙරුණු අතර, එම නඩුවෙන්ද ධම්මරතන හිමියන් පරාජයට පත්ව තිබිණි.

එහිමියෝ කාන්තාවන් සමඟ සම්බන්ධතා පවත්වන බවට වන වීඩියෝද අන්තර් ජාලයේ පලව තිබිණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here