ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් දෙකක් ඉන්දියාවේ හයිද්‍රාබාද්, තෙලංගනා හි පිහිටි වෛද්‍ය MCR මානව සම්පත් සංවර්ධන ආයතනයේදී (DMCRHRD) මාධ්‍ය කළමනාකරණය පිළිබඳව පැවති විශේෂ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වූහ.
මෙම පුහුණු වැඩසටහන් සතියක් පුරා පැවැත්විණ. 30 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම 2026 ජනවාරි 26-31 දක්වා ද තවත් 30 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම 2026 ජනවාරි 16-21 දක්වා ද පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වූහ.
වෘත්තීය හැකියාවන් ශක්තිමත් කිරීම, වෙනස් වන ගෝලීය මාධ්‍ය ක්ෂේත්‍රයේ මුද්‍රිත, විද්‍යුත්, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය යන අංශවල උසස් කුසලතා සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම වැඩසටහන්වලදී අවධානය යොමු කරන ලදී.
ඉන්දීය රජය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන්වල අරමුණ වූයේ සහභාගීවන්නන්ට මාධ්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ නවතම වර්ධනයන්, ප්‍රවෘත්ති කාමරවල සිදුවන පරිවර්තනය, පාලනය සම්බන්ධ සන්නිවේදනය සහ ආචාරධාර්මික මාධ්‍යකරණය යනාදිය පිළිබඳව අවබෝධයක් ලබා දීම යි.
මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක නියෝජිතයන් මෙම කණ්ඩායම් ද්විත්වයට ඇතුළත් විය.
DMCRHRD ආයතනය නායකත්ව සංවර්ධනය, පාලනය සම්බන්ධ පුහුණුව සහ වෘත්තීය විශිෂ්ටත්වය සඳහා කැප වී කටයුතු කරන ප්‍රමුඛතම පුහුණු ආයතනයකි.එය සමකාලීන සන්නිවේදන අභියෝග සහ මහජන සංවාද හැඩගස්වන නැගීඑන තාක්ෂණික ප්‍රවණතා සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් ලෙස ද කීර්තියක් දිනාගත් ආයතනයකි.
ප්‍රවීණයන් විසින් පවත්වන ලද දේශන, අන්තර් ක්‍රියාකාරී සාකච්ඡා, කණ්ඩායම් අභ්‍යාස, ඉදිරිපත් කිරීම් සහ ක්ෂේත්‍ර චාරිකා යනාදිය හරහා වටිනා ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් දෙකටම හිමි විය.
න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික සහ ක්‍රියාවට නැංවිය හැකි කුසලතා අත්කර ගන්නා බව සහතික කෙරෙන ලෙස සැසි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
චර්යාත්මක හැකියාවන් හරහා මිනිස් විභවතාවය උපරිම කිරීම; කෘත්‍රිම බුද්ධිය ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ නව සහ නැගීඑන තාක්ෂණයන්; ඩිජිටල් පරිවර්තනය සහ දත්ත පදනම් කරගත් වාර්තාකරණය; සාවද්‍ය සහ දුස් තොරතුරු සහ ප්‍රචාරණයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම; යහ පාලනය තුළ සමාජ මාධ්‍ය; මාධ්‍යවේදීන් සඳහා සිනමාකරණය; මාධ්‍ය සහ මහජන සබඳතා අතර විශ්වාසය ගොඩනැගීම; අර්බුද කළමනාකරණය තුළ සන්නිවේදන අභියෝග සහ වෘත්තීය නියමාවලීන් සහ සම්මුඛ සාකච්ඡා සඳහා සූදානම යන අංශ වැඩසටහන යටතේ ආවරණය කරන ලදී.
අත්දැකීම් ඇසුරින් ඉගෙන ගැනීමට ද සහභාගිවන්නන්ට අවස්ථාව උදා කර දී තිබූ අතර ඒ අනුව කණ්ඩායම් දෙකේම සාමාජිකයෝ හයිද්‍රාබාද් සහ ඒ අවට සංස්කෘතික වටිනාකමකින් යුත් ස්ථාන නැරඹීමට ද එක් වූහ.
නියෝජිත පිරිස ඓතිහාසික පැරණි නගරයේ සුවිශේෂී චාමිනාර් දේවස්ථාන ගොඩනැගිල්ල ගවේෂණය කළ අතර ඉන්දියාවේ ගතික ප්‍රාරම්භක සමාගම් ක්ෂේත්‍රය පිළිබඳ වැදගත් කරුණු කාරණා උකහා ගනිමින් ඉන්දියාවේ ප්‍රමුඛතම නවෝත්පාදන මධ්‍යස්ථානයක් වන T-Hub හි ද චාරිකාවක නිරත විය.
මෙම චාරිකාවන් තුළින් සහභාගීවන්නන්ට ඉන්දියාවේ පොහොසත් උරුමය, නවෝත්පාදන ක්ෂේත්‍රය සහ ප්‍රජාතාන්ත්‍රීය සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ අතර කලාපයේ වැදගත් බෞද්ධ උරුමය ගවේෂණය කිරීමට ද අවස්ථාවක් හිමි විය.
මෙම වැඩසටහන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ 2025 අප්‍රේල් ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර නිවේදනය කරන ලද වැඩි දියුණු කරන ලද ධාරිතා සංවර්ධන රාමුව යටතේ පවත්වන ලදී.
මෙම මුලපිරීම යටතේ ශ්‍රී ලංකා වෘත්තිකයන් සඳහා දැනට ක්‍රියාත්මක ඉන්දියානු තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා වැඩසටහන වැනි වැඩසටහන්වලට අමතරව වාර්ෂිකව විශේෂයෙන් සකසන ලද පුහුණු අවස්ථා 700ක් පිරිනැමේ.
යහපාලනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකා රජයේ සේවකයන් 300 දෙනෙකුට පමණ පුහුණු අවස්ථා හිමි වන අතර ඒ අනුව ඉන්දියාවේ ධාරිතා සංවර්ධන හවුල්කාරිත්වයෙන් සෑම වසරකම ශ්‍රී ලාංකිකයන් 1000කට පමණ ප්‍රතිලාභ හිමි වේ.
මෙම වැඩසටහන් වේගයෙන් වෙනස් වන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඩිජිටල් පරිවර්තනය, කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම සහ අර්බුද කළමනාකරණය යනාදියට ඵලදායි ලෙස ප්‍රතිචාර දැක්වීමට මාධ්‍ය වෘත්තිකයන් සවිබල ගන්වමින් සිදු කරන ඉතා කාලීන වැඩසටහන් වේ.










Saru News















