ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් සාමාන්‍යාධිකාරිවරයාට චෝදනා

0
3

උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට නවතා දමා ඇති බවත් රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කිරීම සඳහා කිසිදු සැලසුමක් නොමැති බවටත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ දිට්වා නිසා හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය මැදිහත්වී නව ද්විත්ව පාලමක් සකස් කිරීමට ප්‍රථමයෙන් යෝජනා වුවද පසුව පැරණි පාලම නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබු බවය.

එසේම රජය විසින් 2026 අප්‍රේල් මාසයේදී මහනුවර බලා දුම්රිය ධාවනය කරන බවට ප්‍රකාශ කළේය.

නමුත් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) විසින් රජයේ මැදිහත්වීම මත ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සම්බන්ධ වුවද ඔවුන් විසින් සිදුකරන ලද කටයුතු මේ දක්වා සිදු කෙරුණ ද, එම කටයුතු දුම්රිය ඉංජිනේරු තාක්ෂණික කමිටුව විසින් අවශ්‍ය පරිසාධන මට්ටමේ නොමැති බවට මත පළකිරීම හේතුවෙන් පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට නවතා දමා ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව නැවත මෙම පාලමේ ඉදිරි කටයුතු පිළිබඳව යළිත් වාර්තාවක් කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යෝජනා කොට ඇති බව සඳහන් වේ.

එමෙන්ම එම සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ඇතැම් ක්‍රියාකලාපය මෙම ගැටලු ඇති වීමට හේතු වී ඇති බවය.

දුම්රිය සාමාන්‍යාධිකාරි රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු පත් කර තිබීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගතව ඇති බවටත් ඔවුන් චෝදනා කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන බව පෙන්වීම සඳහා ඉතා සරළ තර්කයක් මත පදනම්ව දුම්රිය ධාවනය අඩුකිරීම මගින් වියදම් අවම කර ගැනීමට වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් කටයුතු කරමින් සිටින බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි.

දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදහස් ලබා දීමේ හැකියාවක් නොමැති වීම සහ සෙසු නිලධාරීන්ගේ අදහස් ශ්‍රවණය කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් කටයුතු නොකිරීම හේතුවන් වත්මන් රජය අපකීර්තියට ලක්වෙනවා සේම දුම්රිය භාවිතා කරනු ලබන දුම්රිය මගීන් ද දැඩි ලෙස පිඩාවට පත්වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

එබැවින් දිට්වා නිසා දිසු වූ මාර්ග යලි ප්‍රතිසංස්කරණ කිරීම උදෙසාත් මෙම ගැටලුකාරි තත්ත්වය ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව, දුම්රිය සේවය කඩිනමින් යථාතත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කර මේ වන විට විශ්‍රාම ගෙන ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ සේවය කළ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර දුම්රිය ධාවනය කඩිනමින් යථාතත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙසට එම සංගමය අදාළ වගකිවයුතු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here