ශ්‍රී ලංකා – ජපාන ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

0
7

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට ආරක්ෂක දූත පිරිසක් ජපානයේ සිදුකළ නිල සංචාරය ඉතා සාර්ථක ලෙස නිමාවට පත්ව තිබේ.

මාර්තු 18 වැනිදා අවසන් වූ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ජපාන – ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදයට සහභාගී වීමයි.

මෙම සංචාරය අතරතුර ටෝකියෝ නුවර පිහිටි ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (NIDS) නිරීක්ෂණ චාරිකාවක නිරත වීමටද මෙරට දූත පිරිසට අවස්ථාව හිමි වූ අතර, එහිදී ආරක්ෂක සහ උපායමාර්ගික ක්ෂේත්‍රයන්හි පර්යේෂණ හා අධ්‍යාපනික කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගැනිණි.

මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී ජපාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මියාසාකි මසහිසා (MIYAZAKI Masahisa) මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡා සුවිශේෂී වේ. එහිදී ජපානයේ ආරක්ෂක වපසරිය සහ එහි විකාශනය පිළිබඳව ශ්‍රී ලංකා දූත පිරිස දැනුවත් කෙරුණු අතර, දෙරටේ ආරක්ෂක අංශ අතර පවතින සුහදශීලී සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු විය.

මීට අමතරව, ජපන් නාවික හමුදාවට අයත් ‘JS Maya – DDG-179’ නමැති නෞකාවේ සිදුකළ සංචාරය ද මෙහි තවත් වැදගත් සන්ධිස්ථානයකි.

නාවික සහයෝගීතාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී කොළඹ වරාය වෙත නෞකා පැමිණීම, නිල ආරක්ෂක සහයෝගිතා වැඩසටහන් (OSA) සහ අසමමිතික නාවික යුධ උපක්‍රම පිළිබඳව ශ්‍රී ලංකාව සතු අත්දැකීම් ජපානය සමඟ බෙදාහදා ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.

දෙරට අතර ගොඩනැගෙන මෙම ශක්තිමත් ආරක්ෂක හවුල්කාරිත්වය සංකේතවත් කරමින්, ජපාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට සහ ඒකාබද්ධ නාවික කාර්ය මණ්ඩල ප්‍රධානියාට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස ද මෙහිදී ආරාධනා කෙරිණි. මෙම සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව කලාපීය සාමය සහ ස්ථාවරත්වය උදෙසා අතිශය තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here