ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ අක්‍රමිකතා සොයන්න ජනාධිපති කාර්යාලයෙන් කමිටුවක්.

0
3


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.    

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිමිකාරීත්වය රජය සතුව පවත්වා ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්මෙහි ඉලක්ක ළඟා කර ගැනීම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. 

ඒ අනුව මුල්‍ය ප්‍රවාහ කළමනාකරණය හා ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ආයතනයක් ලෙස ගොඩනැංවීමට එහි සියලු පාර්ශවයන්ගේ දායකත්වය හා කැපවීම ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
 

සාමූහික මැදිහත්වීමක් නොමැතිව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැගිය නොහැකි බව එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් වියදම් වෙනුවෙන් තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන හිමි නොවන පසුබිමක, ආයතනය තුළම ආයතනය ගොඩනගා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.
 

එමෙන්ම ජනාධිපතිවරයා පවසා ඇත්තේ දේශපාලන අධිකාරිය ලෙස මෙරට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට කළ යුතු සියලු කැපකිරීම් සිදු කරන බවත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැගීම එහි සියලු කාර්ය මණ්ඩලයේ වගකීම වන බවයි.
 

මෙවර අයවැයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් රුපියල් බිලියන  20ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. එය මෙරට ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බැවින් එම සියලු මුදල් ඵලදායීව යෙදවීම සියලුදෙනාගේ වගකීම බව  ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
 

රජයේ හිමිකාරීත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමේ රජයේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන්  වෘත්තීය සමිතිවල පූර්ණ සහාය ලබා දෙන බවත්, එය තමන්ගේ ද මූලික අභිප්‍රාය බවත් එම සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයන් ජනාධිපතිවරයා ඉදිරියේ සහතික වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here