වෙනස්ම විදියක අච්චාරු (පිකල්) ජාති ටිකක් හදලම රස බලමුද?

0
14


පිකල් නැත්නම් අච්චාරු කිව්ව ගමන් අපිට මතක්වෙන්නෙ සිංහල අච්චාරුවක් නැත්නම් මැලේ පිකල් එකක්. අද මේ කියන්නෙ එහෙම අච්චාරු ගැන නෙවෙයි. ඔය එකේක එළවළු වර්ග ගණන් අඩු කාලෙට, නැත්නම් අතිරික්තයක් තියෙන වෙලාවක වගේ අච්චාරු ක්‍රමයට නැත්නම් පිකල් දාල කල් තියාගන්න හැටි ගැන. මේ ජාති උයල කන්න කැමති නැති අයටත් හැබැයි පිකල් දාල නම් කන්න හිතෙයි. 

 

1. සුදුළූණු පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සුදුළූණු ග්‍රෑම් 250
  2. අමුමිරිස් ග්‍රෑම් 100
  3. කැරට් අල 2
  4. විනාකිරි බෝතල් 1/2
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. කෑලි මිරිස් තේ හැඳි 1
  7. කහ තේ හැඳි 1
  8. අබ තේ හැඳි 1 1/2
  9. ගම්මිරිස්
  10. ඉඟුරු
  11. මුරුංගා පොතු කිහිපයක්
  12. කුරුඳු
  13. ලුණු

 

  • සුදුළූණු පොතු සුද්ද කරගන්න. කැරට් සාමාන්‍යයෙන් මැලේ පිකල් එකට ගන්න සයිස් එකටම දික් අතට කපාගන්න. 
  • අමුමිරිස් ටික දික් අතට වෙන් නොවෙන විදියට පලාගන්න.
  • අබ, කහ, ඉඟුරු, මුරුංගා පොතු, මිරිස් කුඩු, කෑලි මිරිස්, සුදුළූණු බික් දෙකක් හා ගම්මිරිස් ටිකක් විනාකිරි පොඩ්ඩක් දාලා අඹරගන්න. 
  • මැටි වළඳක් අරගෙන ඒකට විනාකිරි වලින් බාගයක් හා ලුණු දාලා උතුරවගන්න. 
  • දැන් ඒකට සුදුළූණු ටික දාලා කලවම් කරගන්න. ඒකටම කැරට් හා මිරිස් ටිකත් දාගන්න. බාගෙට වගේ විනාකිරෙන්ම තැම්බෙන්න අරින්න.
  • වෙනම මැටි හට්ටියකට ඉතිරි විනාකිරි හා අඹරාගත් අබ මිශ්‍රණය දාලා දියකරගන්න. දැන් ඒකට තම්බගත්ත සුදුළූණු, අමුමිරිස් සහ කැරට් ටික බේරල දාගන්න.
  • කුරුඳු පොතු කෑලි ටිකක් උඩින් දාලා, නිවුනට පස්සෙ රෙදි කෑල්ලකින් කට වැහෙන්න හොඳට ගැට ගහලා දවස් 3කට පස්සෙ කෑමට ගන්න.

 

2. රාබු පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ලියාගත් රාබු ග්‍රෑම් 250
  2. අමුමිරිස් කරල් 4-5
  3. විනාකිරි කෝප්ප 1
  4. අඹරාගත් ඉඟුරු, සුදුළූණු
  5. අඹරාගත් අබ ස්වල්පයක්
  6. රතුළූණු ගෙඩි 8-10
  7. එනසාල් ඇට 2
  8. වතුර කෝප්ප 1
  9. ලුණු තේ හැඳි 1
  10. සුදු සීනි කෝප්ප 1

 

  • මැටි භාජනයකට වතුර දාලා විනාකිරි, සීනි ටික දාගන්න. හොඳට කලවම් කරලා ලුණු ටික දාගන්න.
  • දැන් මේ භාජනේ ලිපේ තියල මද ගින්දරේ රත් කරගන්න. සීනි ටික දියවෙනකල් රත් කරගන්න.
  • හොඳට උතුරනකොට අඹරාගත් අබ සහ ඉඟුරු, සුදුළූණු දාලා අමුමිරිස්, එනසාල් හා රතුළූණු ටිකත් දාගන්න. 
  • හොඳට විනාකිරෙන් තැම්බුනාම රාබු ටිකත් එකතු කරගන්න. තෙත ගතිය හොඳටම හිඳෙනකම් ලිපේ තියාගෙන ජීවාණුහරණය කළ බෝතල් වල අසුරගන්න.

 

3. පිපිඤ්ඤා පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. මහත පෙති කපාගත් පිපිඤ්ඤා ගෙඩි 3
  2. කැට ලුණු
  3. විනාකිරි කෝප්ප 1
  4. සීනි කෝප්ප 2
  5. වතුර කෝප්ප 3
  6. කපාගත් අමුමිරිස් කරල් කීපයක්
  7. සුදුළූණු බික් 3-4
  8. ගම්මිරිස් ඇට ටිකක්
  9. එනසාල් ඇට 3

 

  • මැටි භාජනයකට වතුර, සීනි, විනාකිරි දාලා උතුරව ගන්න. ඉතිරුවාම ලිපෙන් බාගන්න.
  • පිපිඤ්ඤා වලට ලුණු කැට දාලා විනාඩි 10ක් වගේ තියෙන්න ඇරල කලවම් කරගන්න.
  • බෝතලයකට සුදුළූණු, මිරිස් දාලා එනසාල් සහ ගම්මිරිස් ඇට ටිකක් දාගන්න.
  • පිපිඤ්ඤා ටිකත් බෝතලයට දාලා උඩින් ආයෙම ගම්මිරිස් ඇට දාලා විනාකිරි මිශ්‍රණය දාලා බෝතලය වහන්න. දවස් 2කින් කෑමට ගන්න.

 

4. බීට් පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බීට් රූට් ගෙඩි 4
  2. අමුමිරිස් කරල් 4
  3. රතුළූණු ගෙඩි 4
  4. ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 1
  5. අඹරාගත් අබ ස්වල්පයක්
  6. විනාකිරි කෝප්ප 1
  7. එනසාල්, කරාබු නැටි කිහිපයක්
  8. සීනි කෝප්ප 1/2
  9. කහකුඩු තේ හැඳි 1/2
  10. මිරිස්කුඩු තේ හැඳි 1/2
  11. ලුණු

 

  • බීට්රූට් ටික මහතට තීරු කපාගන්න. මැටි භාජනයක් ලිපේ තියලා විනාකිරි දාගන්න. විනාකිරි රත්වෙනකොට අඹරාගත් අබ, ඉඟුරු, සුදුළූණු පේස්ට් එක, එනසාල්, කරාබු නැටි දාගන්න.
  • මිරිස්කුඩු, කහකුඩු එක්ක රස අනුව ලුණු සහ සීනි ටිකත් දාලා කලවම් කරලා සීනි දියවෙනකල් හැඳි ගාන්න.
  • ඊලඟට බීට්රූට්, රතුළූණු හා අමුමිරිස් ටික දාගන්න. විනාකිරි හිඳීගෙන එනකොටම ලිපෙන් බාගන්න. නිවුනම හට්ටිය හොඳින් වහල තියල දවස් තුනකින් රස බලන්න.

 

5. කැරට් පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් කැරට් කෝප්ප 1 
  2. තෙල් මේස හැඳි 1
  3. තලාගත් ඉඟුරු තේ හැඳි 2
  4. අබ ස්වල්පයක්
  5. වියලි මිරිස් කරල් 2
  6. කරපිංචා
  7. මිරිස්කුඩු තේ හැඳි 2
  8. කහකුඩු තේ හැඳි 1/2
  9. අබ කුඩු තේ හැඳි 1/2
  10. ලුණු
  11. විනාකිරි මේස හැඳි 2
  12. දෙහි ඉස්ම ටිකක්

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු ටික දාගන්න. ඊලඟට කැරට් ටික දාලා විනාඩියක් විතර බැදගෙන ලිපෙන් බාගන්න.
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ ටික දාලා පුපුරනකොට කෑලි කඩාගත් වියළි මිරිස් කරල්,
  • කරපිංචා, මිරිස්කුඩු, කහකුඩු, අබ කුඩු සහ රස අනුව ලුණු එකතු කරගන්න.
  • හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න. ඒකට විනාකිරි හා දෙහි යුෂ එකතු කරගන්න. කලින් ෆ්‍රයි කරගත් කැරට් සහ ඉඟුරු ටික එකතු කරලා කලවම් කරගන්න. නිවුනම බෝතල් කර දවස් දෙකකින් කෑමට ගන්න.

 

6. අමු අඹ පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පොඩියට කපාගත් අමු අඹ ගෙඩි 5
  2. කහකුඩු තේ හැඳි 2
  3. ලුණු
  4. අබ ඇට තේ හැඳි 1
  5. උළුහාල් තේ හැඳි 1
  6. සූදුරු තේ හැඳි 1
  7. මාදුරු තේ හැඳි 1
  8. මිරිස්කුඩු තේ හැඳි 2
  9. අබ තෙල් මේස හැඳි 3
  10. පොල්තෙල් තේ හැන්දක්

 

  • කපාගත් අඹ වලට ලුණු තේ හැඳි 1/2 හා කහකුඩු තේ හැඳි 1/2 දාලා කලවම් කරන්න.
  • දැන් මේ අඹ ටික අව්වේ පැය 3ක් විතර වේලගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා අබ, උළුහාල්, සූදුරු, මාදුරු දාලා අඩු ගින්දරේ කබලේ බැදගන්න.
  • මේ ටික ග්‍රයින්ඩ් කරල කුඩු කරගන්න. 
  • පොඩි තාච්චියක් ලිප තියලා පොල්තෙල් දාලා රත් කරගන්න. දැන් වේලගත් අඹ වලට කුඩුකරගත් කුළුබඩු ටික දාලා ඉතුරු මිරිස්කුඩු, කහකුඩු ටිකත් දාගෙන රස අනුව ලුණු දාගන්න.
  • හොඳට කලවම් කරලා රත් කරගත් අබ තෙල් ටික දාගන්න.
  • හොඳට කලවම් කරලා දවසක් විතර තියල කෑමට ගන්න.

 

7. රතුළූණු පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. රතුළූණු ගෙඩි 15ක් පමණ
  2. තෙල් මේස හැඳි 2
  3. ලුණු
  4. කහකුඩු තේ හැඳි 1
  5. මිරිස්කුඩු තේ හැඳි 2
  6. සූදුරු තේ හැඳි 1
  7. අබ කුඩු තේ හැඳි 1
  8. විනාකිරි මේස හැඳි 2

 

  • තෙල් වලට කහකුඩු, මිරිස්කුඩු, අබ කුඩු, සූදුරු දාලා රස අනුව ලුණු දාලා කලවම් කරගන්න. මේකට විනාකිරි එක්ක රතුළූණු ටිකත් එකතු කරගන්න.
  • හොඳට කලවම් කරලා බෝතල් කරලා දවස් දෙක තුනකින් කෑමට ගන්න.

 

 

The post වෙනස්ම විදියක අච්චාරු (පිකල්) ජාති ටිකක් හදලම රස බලමුද? appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here