කළුතර නගර මධ්‍යයේ සමගි ජන බලවේගය විසින් පැවැත්වූ විරෝධතාව අතරතුර ඇතිවූ පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කළුතර නගර සභා මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා ඇප මත මුදාහැරීමට කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.
පා.ම. අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සජබ ක්‍රියාකාරින් පිරිසක් ඊයේ (28) පස්වරුවේ පැවැත්වූ විරෝධතාව අතරතුර අදාළ මන්ත්‍රීවරයා පුද්ගලයකුට පහරදුන් සිද්ධියකට අදාළව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ පහරකෑමට ලක්වූ පුද්ගලයා විරෝධතාව ඉදිරිපිට සිය යතුරුපැදිය නවතා “බත් කන හරක් තවමත් සිටිනවාදැයි” විමසා තිබේ.
ඊට උරණවූ සැකකාර නාගරික මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.
ඒ අනුව පහරකෑ පුද්ගලයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබූ අතර, ඔහු මේ වනවිට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
Saru News










