විනයගරුක දරුවෙක් නිර්මාණය කරමු

0
14


මේ දරුවන්ගේ කිසිම විනයක් නැහැ. දරුවන් ගැන අපි නිරන්තරව මේ විදිහට කථා කරනු ඇත. එහි ඇත්ත නැත්ත පැත්තක තැබුවත ඇත්තටම විනයක් ඇති දරුවෙක් ගොඩ නගා ගන්නේ කෙසේද යන්න දෙමව්පියන් විසින් දැනගත යුතු තත්වයකි. හැම දෙමව්පියෙකුගේම ඒකායන බලාපොරොත්තුව වන්නේත් තමාගේ දරුවා විනයක් සහිත දරුවෙක් සේ ගොඩ නගා ගැනීමයි එසේ නම් අපි කළ යුතු දේ කුමක්ද යන්න දෙවැනි අරමුණ වෙනු ඇත.

අනේ දරුවෝ විනයක් ඇතුව හැදෙන්න යනුවෙන් කියනවාට වඩා දෙමව්පියන් විදිහට ඔබේ විනය ඉතා වැදගත්. එයින් දරුවා තුළ නොදැනීම විනය ගොඩ නැගෙනු ඇත. බාලේ පටන්ම දරුවා අත්දැකීම් ලබා ගන්නේ දෙමව්පියන්ගෙන් නිසා ඔබ නිතරම ඔවුන්ට ආදර්ශමත් වෙන්න. දරුවගේ මනසේ නිදන්ගත වෙන දෙමව්පියන්ගේ හැසිරීම් රටාව ඔවුන්ගේ විනය වෙනුවෙන් විශාල බලපෑමක් ඇති කිරීමට සමත්ව ඇත. කකුලුවා හරහට යමින් පැටවුන්ට කෙලින් යන්නනට කීම නිරර්ථක උත්සාහයක් බැව් දන්නා ඔබ දරුවන්ට ආදර්ශමත් දෙමව්පියන් වෙන්න. එවිට ඔබේ දරුවාගේ විනය ගොඩ නගා ගැනීම එතරම් අපහසුවක් නොවේ.

අවිනීතව හැසිරෙන බොහෝ දරුවන්ගේ පසුබිම ගැන විමසා බලන විට පෙනී යන කරුණක් වන්නේ ඔවුන්ට නිවස එතරම් ප්‍රිය මනාප තැනක් නොවීමයි. විනය විරෝධී බොහෝ  පුද්ගලයන් බාල කාලයේදී තම නිවසේ පරිසරය බෙහෙවින්ම අප්‍රසන්නව ගෙවා ඇත. එම තොරතුරු ඇතැම් පුද්ගලයන්ගේ චරිතාපදාන මගින් පවා හෙලිවී තිබේ. බොහෝ විට දුෂ්කරතාවයන් නිසා තමා ලද පීඩනය සමාජයෙන් පිපිරෙන තැනටම මේ තත්වය දරුණු වී ඇත. දරුවන්ගේ විනය ගොඩ නගන මූලික පරිසරය නිවසෙන් ඇති වෙන  නිසා ඒ ගැන උනන්දු වෙන්න. නිවසෙන් ලබන ශික්ෂනය බාහිර ලෝකය සමග ගණුදෙණු කරන විට ඉතා වැදගත් බැවින් නිවස තුළ දරුවාට ලබා දෙන ශික්ෂනය සමග එය දරුවාට ප්‍රියමනාප පරිදි ගොඩ නගන්න.

දරුවාගේ ජීවිතයට වෙනස අවශ්‍ය බව හිතන්න. එකාකාර ජීවන රටාවකට අනුව පාසල සහ නිවසට සීමා නොවී බාහිර පරිසරය සමග එක් වීමට කටයුතු සලසා දෙන්න. තවත් අ‍ය සමග ගණුදෙණු කළ යුත්තේ කෙසේදැයි ඔහු එවිට ඉගෙනගනු ඇත. ළිං මැඞියන් සේ සීමිත වපසරියක සිටින දරුවා  පරිසරය සමග ගනුදෙණු ආකාරය නොදන්නා නිසා විනය ගරුක හැසිරීම යනු ඔහුට ආගන්තුකය.

දරුවන්ට අවවාද ලබා දෙන විට ඒවා ධනාත්මක වීමත් ඉතා වැදගත්. අවවාද නිසා දරුවා මහත් සේ වෙහෙසට පීඩාවට පත් වේ නම් එයින් ඔහුගේ හැසිරීම යහපත් සේ ගොඩ නගා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. කරන කියන හැම දෙයටම එකාකරව ලබා දෙන එපා යන වචනය නිසා ඔවුන් කළ යුතු සහ නොකළ යුතු දෙය අතර වනසක් දකින්නේ නැත. මේ නිසා විනයගරුක හැසිරීමක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය නම් දරුවා වෙනුවෙන් ලබා දෙන අවවාද ඔහුගේ මනසට අවශෝෂනය වන පරිදි ධනාත්මක ලෙසින් ලබා දීම ඉතා වැදගත්ය. කළයක් මුනින් නවා දිය පුරවන්නා සේ අවවාද ලබා දීමට වඩා ඔහුගේ ජීවිතයේ විනය ඇති වෙන සේ අවවාද මගින් ජීවිතයට ආලෝකයක් ලබා දීම ඉතා වැදගත් වේ.

දරුවා යහපත් ක්‍රියාවක් කල විට එය අගය කරන්න. වරදක් කළ විට එහි වැරැද්ද පෙන්වා දෙන්න.හොඳ සහ නරක අතර වෙනස පැහැදිලිව කියාදෙන්න.  “හිටියොත් හොඳට හැදී… දෙවියොත් නමට වඳී ” කියන්නා සේ ජීවිතය ගොඩ නගා ගැනීමේ වැදගත්කම කියා දෙන්න. වැරැදි අවම වන සේ කටයුතු කිරීම විනයගරුක දරුවාගේ ලක්ෂනය බැව් ඔවුන්ට ඉතාම පැහැදිලිව කියා දෙන්න.

අද සාමාන්‍ය ව්‍යවහාරයේ පවා පවතන සංකල්පය වන්නේ වේලාවට වැඩ කිරීමට අපි පුරුදු නැති බවයි. එය විනයක් නොවේ. විනයක් ඇති තැනැත්තා කිසිම නිතරම වේලාවට කටයුතු තිරීමට පුරුදුව සිටින නිසා ඔහු තුළින් නොදැනීම විනයක් දකින්නට ඇත.ඒ නිසා දරුවාටත් බාල කාලයේ පටන් වේලාවට කටයුතු කිරීමට උපදෙස් දෙන්න. කාලසටහනකට අනුව වැඩ කිරීමට හුරුව ලබා දෙන්න. කලට වේලාවට වැඩ කිරීම නිසා තමාගේ පුද්ගලික ජීවිතයටත් විශාල ආලෝකයක් ලැබෙන බැව් දරුවන්ට පෙන්වා දෙන්න. කලට වේලාවට වැඩ කිරීමට නොහැකි තැනැත්තා වෙනුවෙන් සමාජයේ ඇගයීමක් නොලැබෙන බව දරුවාට ඒත්තු යන සේ කියා දෙන්න. විනය එතැනින්ම ගොඩ නැගෙනු ඇත.

බොහෝ මව්පියන් නිතරම තම දරුවාට හැම දෙයටම එපා කීමට පුරුදුව සිටිති. එයින් දරුවාට ඇති වෙන්නේ මානසික පසුගාමීත්වයකි. ඒ නිසා ඔවුන් දෙමව්පියන් එපා කියන දේ වෙනුවෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන තත්වයට පත් වීම නිසා දරුවාගේ විනය පිලිබඳ ගැටළු ඇති වීමේ ප්‍රවනාතාවයක් නොදැනීම ඇති වේ. ඊට හේතුව වන්නේ කම්මලේ බල්ලා හෙණ හඩටත් බියක්   නොදක්වන්නා සේ ඔබ නිතරම දරුවාට අසාධාරණ සීමාවන් පනවන නිසා ඔවුන් ඔබේ අවවාද නොරුස්සන තත්වයට පත් වීමයි.

නිවස දරුවාට ස්වාධීන වීම ඉතා වැදගත්. නිරන්තරව පනවන නීති රීති නිසා දරුවාගේ මානසිකත්වය බෙහෙවින් අවුල් සහගත තත්වයට පත් වන නිසා ඔවුන් විනය යනු කුමක්දැයි නිසි පරිදි වටහා ගැනීමට අපොහොසත් චරිත බවට පත් වෙනු ඇත.

විනය සමාජයේ පැවැත්මට අවශ්‍ය ගුණාංගයක්. අද බොහෝ වැඩිහිටියන් වෙතින් පවා විනයක් නොදක්නා තැනට පත්ව ඇත. ඒ හැම විටෙකම අපි ඔවුන්ගේ බාල කාලයට නොඑසේනම් මව්පියන්ට චෝදනා නගනු ඇත. යම් දවසක ඔබේ දරුවාත් මේ තත්වයට පත්වීම ඔබ කිසිම ලෙසකින් අපේක්ෂා නොකරනු ඇත.ඔබගේ එකම අපේක්ෂාව විනයගරුක දරුවෙක් සමාජය වෙනුවෙන් නිර්මානය කිරීමයි. එසේනම් දරුවාගේ බාලකාලයේ පටන්ම ඒ වෙනුවෙන් ඔබේ කටයුතු ආරම්භ කළ යුතුය. එවිට සමාජයට ඔබේ දරුවා ආශිර්වාදයක් වෙනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here