ලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපත

0
3

මියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දැක තිබේ.

හියුගෝ පවෙල්  ‘Hugo Powell’ නම් මෙම පිරිමි දරුවා පසුගිය දෙසැම්බර් මාසයේදී ලන්ඩනයේ ‘ක්වීන් චාලට් සහ චෙල්සි’ රෝහලේදී සිසේරියන් සැත්කමක් මඟින් මෙලස උපත ලැබීය. උපතේදී දරුවාගේ බර කිලෝග්‍රෑම් 3.1ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

දරුවාගේ මව වන 30 හැවිරිදි ග්‍රේස් බෙල්, උපතින්ම ගර්භාෂය පිහිටා නොතිබෙන Mayer-Rokitansky-Kuster-Hauser නමැති දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි.

යොවුන් වියේදීම තමන්ට කිසිදා මවක් විය නොහැකි බව ඇය දැනගත් බවත් එදින රෝහල් වැසිකිළියක් තුළට වී හඬා වැටුණු බවත් ඇය ඉතා සංවේදී පවසා ඇත.

මෙම අසීරු ගමන පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය:

“මේක ආශ්චර්යක්. මම කවදාවත් හිතුවේ නැහැ මෙය කළ හැකි වෙයි කියලා. මගේ ජීවිතයේ සතුටුම දවස අදයි.”

මෙම දරු උපත සඳහා ගර්භාෂය ලබා දී ඇත්තේ මියගිය තරුණියක විසිනි. ඇයගේ ගර්භාෂයට අමතරව තවත් අවයව 5ක් පුද්ගලයන් සිව්දෙනෙකුට බද්ධ කර ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට දායක වී ඇති බව සඳහන් වේ.

තමන්ට මව් පදවිය ලබාදීමට මූලික වූ එම නාඳුනන දායකයා සහ ඇයගේ පවුලේ අය පිළිබඳව ග්‍රේස් බෙල් මහත් ගෞරවයෙන් සිහිපත් කර තිබේ.

 “ඇයගේ මව්පියන් තම දියණිය අහිමි වීමේ වේදනාවෙන් සිටියත්, ඇය කළ මෙම උදාර පරිත්‍යාගය නිසා මට මගේ ජීවිත කාලය පුරා තිබූ සිහිනය සැබෑ කරගන්න ලැබුණා,” යැයි ඇය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

යුරෝපයේ මියගිය දායකයෙකුගෙන් ලබාගත් ගර්භාෂයකින් දරුවෙකු බිහි වූ තෙවන අවස්ථාව මෙය බව සඳහන් වේ.

බ්‍රිතාන්‍යයේ මීට පෙර ජීවතුන් අතර සිටින දායකයෙකුගෙන් (සහෝදරියකගෙන්) ලබාගත් ගර්භාෂයකින් දරුවෙකු බිහි වී තිබුණද, මියගිය අයෙකුගෙන් ලබාගත් ගර්භාෂයකින් දරුවෙකු බිහි වූ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

මුලින් දරුවෙකු ලබා ගැනීම සඳහා ‘කුලියට දරු ගැබක්’ (Surrogacy) ලබා ගැනීමේ අදහසින් සිටි ග්‍රේස් බෙල්, පසුව බ්‍රිතාන්‍යයේ ගර්භාෂ බද්ධ කිරීමේ වැඩසටහනට සම්බන්ධ වී උතුම් මව් පදවිය ලැබීමට වාසනාවන්ත විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here