ලොවටම ප්‍රශ්නයක් වුණු කොවිඩ් එන්නත් ප්‍රමාදය

0
11


ලොවට එරෙහි පිටසක්වල ආක්‍රමණයක් ආ කල ලොවම එකතු වී එයට විරුද්ධව සටන් කොට එය නසන ආකාරය චිත්‍රපට වලින් අපිට පෙන්වනවා. ඒත් සැබෑ ලෝකයේ ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය දැන් ලොව පුරා පැතිර ගොස් අවසානයි. එයට ප්‍රතිකර්ම ලෙස පැමිණි එන්නත්කරණය ලොව ජනයාගෙන් තවමත් බාගයකටවත් හිමිවෙලා නැහැ. ඉතින් මේ එන්නත්කරණයේ පමාව ගැන කරුණු ටිකක් අපි දැනගමු.

 

 

1. මාත්‍රා අතර ප්‍රමාදය

 

අපේ රටේ විතරක් නෙමෙයි, ගොඩක් තැන්වලදි පළමුවෙනි මාත්‍රාව දීපු අයට දෙවන මාත්‍රාව පමා වුණා. ඉන්දියාවේ සහ එංගලන්තයේත් මේ ආකාරයෙන් ලැබිය යුතු මාත්‍රා නියම කලට නොලැබීම නිසා දෙවන මාත්‍රාව පමා වෙලා තිබුණා. ඒත් අලුත් පර්යේෂණ වලින් අනාවරණය වෙලා තියෙන විදිහට මේ විදිහට එන්නතේ පළමුවැනි මාත්‍රාව සහ දෙවන මාත්‍රාව අතර කාල පරතරය වැඩි වීම වාසිදායක වෙන බවයි පැවසෙන්නේ. ඒ තුළින් ප්‍රතිශක්තිය ඇතිවීමේ හැකියාව වැඩිවෙන බවට පර්යේෂකයින් සොයාගෙන තියෙනවා.

 

 

2. පේටන්ට් නැතිකිරීම හොඳ විසඳුමක්ද?

 

කොවිඩ් එන්නත් සොයාගත් සුවිශාල සමාගම් වල පේටන්ට් අහෝසි කළ යුතු බවට යෝජනා කිහිපයක්ම ආවා. එයින් එක් යෝජනාවක් දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව මගින් ලෝක වෙළඳ සංවිධානයට ඉදිරිපත් කර තිබුණා. එහෙත් මේ පේටන්ට් නැති කළ පමණින් එන්නත් මහා පරිමාණව එකවර නිපදවිය නොහැකි බව තමයි ඇතැම් තාක්ෂණික විශේෂඥයින් කියන්නේ. මේ එන්නත් නිපදවීමට සැළකිය යුතු තාක්ෂණයක් සහිත ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ඇතුළත් හොඳ සහසම්බන්ධ පද්ධතියක් අවශ්‍ය වෙනවා. එයින් පිටත කුඩා රටවලට සහ ආගන්තුක අයට මේ එන්නත් නිපදවීමට හුරු වෙන්න ගොඩක් කල් යාවි කියලා ඇතැම් පාර්ශව මත පළ කරලා තියෙනවා.

 

 

3. ඉන්දියාවට වසංගතය දරුණු වීම

 

ඉන්දියාව කියන්නේ ඖෂධ නිපදවීම කියන විෂයයේදී දියුණු රටක්. චීනය ඉලෙක්ට්‍රොනික අයිතම නිපදවීමට, ජපානය කැමරා බඩු නිපදවීමට සමත් වන්නේ යම්සේද ඉන්දියාව මහාපරිමාණව ඖෂධ නිපදවීමේ දක්ෂ රටක් වෙනවා. එහෙත් කොවිඩ් එන්නත් නිපදවීමේදී ඉන්දියාවට එරට තුළම තිබෙන දරුණු කොවිඩ් වසංගත තත්ත්වය ආකාර කිහිපයකින් අවාසිදායක ලෙස බලපෑවා. එක් පසෙකින් වෙනත් රටවලින් ඇනවුම් කරන එන්නත් තොග ඉන්දියානු සමාගම් වලින් එම රටවලට දුන්නා. එහෙත් ඉන්දියාව තුළ එන්නත් අවශ්‍යතාවය වැඩි වෙද්දී දේශපාලන බලපෑම් සමාගම් වල ඉහළ නිලතල වලට දරාගන්නට බැරි මට්ටමට ආවා. ඒ ආකාරයෙන් ඉන්දියාවේ කොවිඩ් නිසා සිදු වූ ප්‍රශ්නත් එන්නත් නිෂ්පාදනය අඩු කරන්නට හේතු වුණා.

 

 

4. එන්නත් ලැබිලත් නොවිද්ද රටවල්

 

අප්‍රිකාවේ ඇතැම් රටවලට මුල්වටයේම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් පාර්ශව වලින් එන්නත් තොග ලැබුණා. ඒත් දුර්වල සෞඛ්‍ය සේවාව සහ මිනිසුන් එන්නත ලබාගන්නට අකමැති වීම මත මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝව වැනි රටවල ලැබුණ එන්නත් ටිකත් අපතේ ගියා. ලොව සමහර රටවල එන්නත් නැතිව එන්නත් ගහන්නට පෝලිම් වල පැය ගණන් ජනතාව ලත වෙද්දී ඇතැම් දුර්වල අප්‍රිකානු රටවල් වලට ලැබුණ එන්නත් ලක්ෂ ගණනින් නාස්තිවී කල් ඉකුත් වුණා.

 

 

5. නව නිෂ්පාදනාගාර ඇතිවීම ප්‍රමාද වීම

 

කොවිඩ් එන්නත විදින්න වගේම නිපදවන්න වෙන්නෙත් කොවිඩ් පැතිරුණු ලෝකයක. එහිදී නව නිෂ්පාදන ජාල ඇතිකිරීමේ උවමනාව ඇමරිකානු ෆයිසර් බයෝන්ටෙක් සහ මොඩර්නා සමාගම් වලට තිබුණත් ඒ කාර්යයනුත් නිසි කලට කරගන්න කොරෝනාව බාධාවක් වුණා. උදාහරණ විදිහට ඖෂධ නිෂ්පාදනයට සුරුවිරුකම් පාන ඉන්දියාවේ සමාගම් මුල් වටයේදී මේ මුල්පෙළ එන්නත් කිහිපයම නිපදවන්නට සූදානමින් සිටියා. එහෙත් කොරෝනා පැමිණීම එක්ක ඉන්දියාවට ඒ නව එන්නත් නිපදවීමේ කටයුතු කලින් සැළසුම් කළ විදිහට කරන්නට වුණේ නැහැ. ඒ ආකාරයට එන්නත් නිපදවීම ලොව පුරා ප්‍රචලිත කරන්නට සිටියත් ඒ කටයුතුත් කොවිඩ් නිසාම ප්‍රමාද වුණා.

 

6. අමුද්‍රව්‍ය සැපයුම

 

 

එන්නත් නිෂ්පාදනය කරන්නේ එක සමාගමක් පමණක් නොවෙයි. එකම හදිසියකින් සමාගම් කිහිපයක්ම එන්නත් නිෂ්පාදන කටයුතු කරනවා. එම නිසා එම නිෂ්පාදන ක්‍රියාවලි වලට අදාළ අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර ආදියටත් එකවර ඉල්ලුම වැඩි වුණා. එක් වාර්තාවකින් කියන විදිහට මේ එන්නත් නිෂ්පාදනයට අවශ්‍ය කරන ප්ලාස්ටික් බෑග වසරක පමණ කාලයක් තිස්සේ දැඩි හිඟයක් තියෙනවා. ටිකක් මෑතකදි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ නෝවා වැක්ස් සමාගම කියන විදිහට ඒ ප්ලාස්ටික් බෑග් හිඟය නිෂ්පාදන කටයුතු වලට බාධාවක් වෙලා තියෙනවා. ඒ ප්ලාස්ටික් බෑග් ආදී එන්නත් නිපදවීමේදී අවශ්‍ය කරන උපාංග නිෂ්පාදන කටයුතු ඉල්ලුම සමග වැඩි නොවීම එන්නත් නිෂ්පාදනය වේගවත් කිරීමට බාධාවක් වෙලා තියෙනවා.

 

 

7. වැක්සීන් මිල සම්බන්ධ ගැටළු

 

 

ඉන්දියාවේ රජය වගේම පුද්ගලික අංශයත් එන්නත් මිලදී ගන්නට කටයුතු කළා. රජය එන්නත් නිපදවන සමාගම් වලින් ඉන්දියානු රුපියල් 150කට වැක්සීන් මිලදී ගන්නට කටයුතු කළත් ඊට අඩු මිලට පිට පුද්ගලික රෝහල් වලට එන්නත් ලැබී තිබුණ බවට චෝදනා එල්ල වී තිබුණා. ඒ වගේම පුද්ගලික රෝහල් වල ඇනවුම් වලට ඉන්දියානු එන්නත් නිෂ්පාදකයින් වෙතින් ප්‍රමුඛතාවය ලැබී තිබුණ බවටත් චෝදනා එල්ල වී තිබුණා. මේ ආකාරයට එන්නත් මිල සම්බන්ධ යම් යම් තත්ත්වයන් ආදියත් එන්නත්කරණය මන්දගාමී වන්නට හේතු වුණා.

 

මීට අමතරව එන්නත්කරණය සහ කොවිඩ් සම්බන්ධ දේශපාලනයත් මේ එන්නත් සම්බන්ද කාරණා වලට දැඩිව බලපානවා. චීනයේ සයිනොෆාම් එන්නත සාර්ථක යැයි පැවසුවත්, චීනය ඔවුන්ගේ එන්නතේ දත්ත පිටතට දීම ප්‍රමාද කළා. රුසියාවේ ස්පුට්නික් මුලින්ම ආ එන්නතක් වුණත් එයට අනුමැතිය ලබා දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය කල් ගත්තා. ඇස්ට්‍රාසෙනකා එන්නත හොඳ වුවත් එයින් ඇතිවෙන රුධිර කැටි ගැසීමේ අවදානම ගැන වූ බිය එන්නත්කරණයට බාධා කළා. ඔය විදිහට සංකීර්ණ හේතු ගාණක් නිසා කොවිඩ් එන්නත් කල් ගියා. කොයිහැටි වුවත් 2021 අවුරුද්ද අවසන් වනවිටවත් ලෝකයේ බොහෝ දෙනාට එන්නත් ලැබුණොත් එයින් ලෝකය නැවත යථා තත්ත්වයට ගන්නට හැකි වේවි.

 

 

 

The post ලොවටම ප්‍රශ්නයක් වුණු කොවිඩ් එන්නත් ප්‍රමාදය appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here