මහා පරිමාණ දූෂණ චෝදනාවක් යටතේ බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
මීට වසර 11කට ඉහතදී ලංකා පොහොර සමාගමේ ප්රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකරන ලද රුපියල් ලක්ෂ 88කට අධික දූෂණයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති අංශය මගින් අධි චෝදනා 02ක් යටතේ විත්තිකාර පුණ්ය ශ්රී කුමාර ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ එලෙස නඩු පවරා තිබේ.
අංක 481/26 යටතේ පවරා තිබෙන එම නඩුව සඳහා අල්ලස් කොමිසම විසින් සාක්ෂිකරුවන් 21 දෙනකු සහ නඩු භාණ්ඩ 29කින් සමන්විත ලේඛනයක්ද ඇතුළත් කර තිබිණි.
ඉකුත් 2014 ජනවාරි 02 වැනිදා සහ දෙසැම්බර් 30 වැනිදා අතර කාලසීමාව තුළදී සීමාසහිත ලංකා පොහොර සමාගමේ ප්රසම්පාදන කළමනාකරු වශයෙන් සේවයේ යෙදී සිටියදී, එම සමාගමේ ගබඩා පරිශ්රය කාපට් ඇතිරීමේ කොන්ත්රාත්තුව ඩී.එස්. කන්ට්රක්ෂන් නමැති ආයතනය වෙත පිරිනමා තිබියදී, අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථ ලාභයක්, අනුග්රහයක් හෝ වාසියක් එම ආයතනයට සිදු කිරීමේ චේතනාවෙන් හෝ එසේ වන බව දැන දැනම, ප්රසම්පාදන මාර්ගෝපදේශන සංග්රහයේ ප්රසම්පාදනවලට පටහැනිව, එනම් බැංකු ඇපකරයක් මාස 03කට හෝ දින 28කට වලංගු ලෙස තිබිය යුතු බවද, එලෙස බැංකු ඇපකරයක් ඉදිරිපත් නොකර අදාළ ආයතනය වෙත (ඩී.එස්. කන්ට්රක්ෂන්) අත්තිකාරම් ලෙස කොන්ත්රාත් මුදලින් 20%ක ප්රමාණයක්, එනම් රුපියල් අසූ අට ලක්ෂ පනස් නවදහස් හත්සිය අටක (88,59,708) අල්ලස් පනතේ 70 (ආ) වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකාර කුමාර ජයකොඩිට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
Saru News















