ලක්ෂ 3කට වාහන අංක තහඩු නැහැ

0
3

වාහන අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවා ගතවූ මාස 9ක පමණ කාලය තුළ නව අංක තහඩු ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම අංක තහඩු හිමි වාහන අතරට නව වාහන ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් සහ හිමිකම් මාරුකළ වාහන 25,000 කට අධික සංඛ්‍යාවක් ඇති බවත් අංක තහඩු සැපයීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්වය හේතුවෙන් පසුගිය වසරේ (2025) අප්‍රේල් මස සිට අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවූ බවත් එම දෙපාර්තමේන්තුව කීය.

මෙම වසරේ ජනවාරි මස පමණක් යතුරුපැදි ඇතුළු වාහන 55,238 ක් ලියාපදිංචි කර තිබූ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉබදිරි මාස කීපයේ ද ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් එකතුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

වසර තුනකට පසුව පසුගිය වසරේ පෙබරවාරි මස නැවතත් වාහන ආනයනයට අවසර දීමත් සමඟ වාහන ලියාපදිංචි කිරීම ඉහළ ගිය බවත් පසුගිය වසරේ පමණක් යතුරුපැදි ලක්‍ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබූ බවත් එම දෙපාර්තමේන්තු කීය.

පසුගිය ජනවාරි 6 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අංක තහඩු මුද්‍රණය සඳහා සැපයුම්කරුවකුට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

ඉන්දීය සමාගමක් වන සවුත් ඒෂියන් ටෙක්නොලොජීස් සමාගමට එම ටෙන්ඩරය පිරිනැමූ බව ද ඇමතිවරයා කීය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතාගෙන් ඊයේ (5) ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ මාස තුනක පමණ කාලයකින් පසුව නව අංක තහඩු නිකුත් කිරීමේ හැකියාව ඇති බවයි.

එම ටෙන්ඩරය ඉන්දීය සමගාමකට දීලා තියෙන්නේ ඔවුන්ට මැෂින් සවිකරගෙන කාර්ය ආරම්භ කිරීමට මාස තුනක කාලයක් දී බවත් ඒ නිසා නව අංක තහඩු නිකුත් කිරීමට මාස තුනක් බලාසිටීමට සිදුවිය හැකි බවත් කමල් අමරසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මාස තුනක් ගතවීමට පෙර එම සමාගමට මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම අංක තහඩුව ජාත්‍යන්තර මට්ටමේ එකක් බවත් අමරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මූලාශ්‍රය – ලංකාදීප

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here