නිශ්මං රණසිංහ ,මාර්තු 03 කොළඹ LNW:
රොෂාන් මහානාම සමඟ චතුර අල්විස් කරන ලද සංවාදයකදී වර්ථමාන ක්‍රීඩකයන්ගේ ආකල්ප සම්බන්ධයෙන් ඔහු කරනු ලබන විවේචනය අතිශයින් වැදගත් වෙනවා.යම් ක්‍රීඩකයෙකු ඔහුගේ ප්‍රධාන අරමුණ රටේ ගෞරවයට පාත්‍ර වන සහ රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන පුරවැසියෙකු ලෙස ක්‍රීඩකත්වය පත් කර ගැනීමේ භාරදූර වගකීම නොව අයිපීඑල් තරගවලට සහභාගි වීම කියන කාරණය තුළ ඔහුගේ සිහින මිල වැඩි එහෙත් ගුණ අඩු තැනකට පත්ව තිබෙනවා.
අප මීට පෙරද පෙන්වා දුන් පරිදි වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්.ඒ 96 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් හැදුණ වැඩුණු පරිසරය තබා ඔවුන් බහුතරයක් ජාතික කණ්ඩායමට පැමිණීම සඳහා පාදක කර ගත් පාසල්වල නියෝජනයක්වත් මේ ක්‍රීඩකයන්ට නැහැ.විශේෂයෙන්ම රොෂාන් 96 කණ්ඩායම සමඟ මේ ක්‍රීඩකයන්ගේ පවුල් සහ තමන් ක්‍රීඩා කරන අවධියේ පවුල් අතර ඇති සමාජ තත්ත්වය පරික්ෂාවට ලක් කරන්නේනම් පරතරය තුළ ඇත්තේ කුමක්දැයි අවබෝධ කර ගැනීමට හැකියි.
රොෂාන්ගේ සමයේ ද රොෂාන්ලාගේ පවුල් පසුබිමට,අරවින්දලාගේ පවුල් පසුබිමට වෙනස් පවුල් තත්ත්වයන් ඇතුළේ පැමිණි ක්‍රීඩකයන් සිටියා.එහෙත් එසේ නොවන බහුතරය ඉදිරියේ සහ තිබුණු රටාව ඇතුළේ ඔවුන්ට හැඩ ගැහෙන්න වෙනවා.
වර්ථමාන ක්‍රීඩකයින් මෙන්ම ඔවුන්ගේ පවුල් සහ සමාජීය පරිසරයද මුල සිට සළකා බලන්න වෙනවා.ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගන්නේ සහ ඒ පවුල් සියල්ල දෙවැනි කරමින් ක්‍රිකට් වෙනුවෙන් සියල්ල වැය කරන්නේ හොඳ ආර්ථිකයක් හදා ගැනීමේ සිහිනය ඇතුළෙයි.
එවිට රොෂාන් මහානාමලාගේ ක්‍රීකට් ජීවිතය ඇතුළෙ කණ්ඩායම තුළ සහ නිවාසවල පවා කතා වූ ක්‍රිකට් කතාවට වඩා ඔවුන්ගේ ඉලක්කගත සිහිනවල කතා උපදින්නේ සල්ලි හෙවීම පදනම් කර ගත් ගර්භාෂය තුළයි.එක අයිපීඑල් එකක් ගැහැව්වොත් මෙච්චරක්වත් හොයන්න පුළුවන් කියන කාරණය තමයි සාකච්ඡාවේ ඉදිරියෙන් තියෙන්නෙ.සල්ලි වෙනුවෙන් ක්‍රිකට් ආරම්භ කර සහ ක්‍රිකට් වෙනුවෙන් ක්‍රිකට් ආරම්භ කරන ලද පරම්පරා දෙකක් හැටියට මහානාමලාගේ පරම්පරාව සහ වත්මන් පරම්පරාව අතර පියවා ගැනීමට අපහසු පරතරයක් තිබෙනවා.
පරිපාලනය මේ පරතරය පියවා ගැනීම සඳහා අවශ්‍යය බුද්ධිමය සංවාදය ඇතුළට ක්‍රීඩකයින් කැදවාගෙන ආ යුතුව තිබෙනවා.විශේෂයෙන් ඔවුන්ට තේරෙන බසකින් කතා කර ඔළුව හදන්න,ඉලක්ක නෝට්ටුවල සිට පිත්තට සහ පන්දුවට භාර කරන්න,ආදායමේ සහ ක්‍රීඩාවෙන් උපයා ගත හැකි කීර්තියේ වෙනස සහ එම වටිනාකම්වලින් වඩා ශ්‍රේෂ්ඨ කුමක් ද කියා කල්පනා කිරීමට ඔවුන්ව මෙහෙයවිය යුතුව තිබෙනවා.
තමන් උපයන දෙයින් තමන්ටම පිළිමයක් හදා ගන්නට මේ ක්‍රීඩකයන් හැමෝටම ආර්ථික ශක්තියක් තිබෙනවා.අවශ්‍යයනම් එසේ හදා තමන්ටම එයට ගෞරව කරමින් ඉන්නටත් පුළුවන්.එහෙත් තමන් විඳි දුක් ගැහැට ක්‍රිකට් නිසා නැති කර,තමන් ආදරය කරන තමන්ගේ ලෙයින් උපන් අනාගතයකට හොඳින් ජීවත්වෙන්න පුළුවන් ආර්ථිකයක් හදනවාට වඩා,මිනිස්සු හූ නොකියන මිනිහෙක් වීම තුළ ලබා දෙන ගෞරවයේ වටිනාකම මිල කළ නොහැකියි.
රොෂාන්ට ඉන්නේ දූවරුන්මයි.ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා නොකළත් පාසල් අවදියේ මලල ක්‍රීඩා සඳහා සහභාගි වෙද්දිත් මිනිස්සු අතර සරලව එකට ඉදගෙන ඉන්න රොෂාන් ගැන ඒ දූවරුන්ට තියෙන ආදරය වැඩි වෙන්න ඇති.එහෙම මිනිසුන්ගේ ආදරය සහ ගෞරවය ලැබීම හරි දුලබයි.
රොෂාන් ඒ සාකච්ඡාවේ ඔවුන් මහන්සි වී ක්‍රීඩා කළ හැටි කියනවා.දෙහිවල වෙරළෙ දිව්ව හැටි කියනවා.ඒවා බොහොම ආඩම්බරෙන් කියන්න උත්සාහ කරනවා.ඒ වගෙම මගේ අත්දැකීමකදී රොෂාන්ව ක්‍රීඩකයන්ගේ සංගමය ගැන පුවත්පත් සාකච්ඡාවකට හමුවෙනවා.රොස්මීඩ් පෙදෙසෙදි සිඳුවන ඒ හමුව ඇතුළෙ ඔහු තමන්ගෙ පවුලට සේවය කරන ලද පුද්ගලයෙකු අසනීප වී රැකියාවක් නොකළ හැකි නිසා යම් මුදලක් සෑම මාසයකම ලබා දෙනවා.මේ කාරණය පවසන්නේ අදාළ පුද්ගලයායි.රොෂාන් ඔහු ගැන මට කියන්නෙ අපේ වැඩක් කරපු කෙනෙක් සල්ලි දෙන්න බැරි වුණා මම ඒක දීල එන්නම් කියායි.
අද තමන් උපන්නේම ලොකු ධනයක් ඇතිව බව පෙන්වන්න මේ ක්‍රීඩකයන් කැමතියි.මුල්ම අදියරේ දී ඔවුන් සමඟ සිටිය සෑම ආකාරයකම හිතවතුන් මිත්රයන්ව දුරස්ව තබා ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ.ඒ ඔවුන්ගේ ඇත්ත පොළවට ඇණුන ඉණි ගලවා දමා කෘතිම සල්ලිකාරයෙක්ගේ ජීවිතය ඔවුන්ට උරුම කර දීමේ භූමිකාවේ වැඩි වැඩක් කරන්නෙ ඔවුන්ගෙ කළමනාකරුවන්.
ගහක් හයිය සහ අතු මලින් පලයෙන් බර වෙන්නෙ ඒ මුලේ හයිය එක්ක කියන කාරණය මේ කළමනාකරුවන් කියාදෙන්න දන්නෙ නැහැ.ඔවුන්ට ඕනි ඉඩම්,හෝටල් සහ වෙනත් ව්‍යාපාර සඳහා ඒ මුදල් යොදවා පැවතියාට වඩා වෙනස් ජීවිතයක් ඇති කර පරණ ජීවිතය මතක් වෙන පෙනෙන තැන්වලින් ඈත් කර තබන්නයි.මේ තත්ත්වය තියෙනකම් මුල වෙන තැනක ගහ වෙන තැනෙක තියෙද්දි පල හැදුණට මල් පිපුණට ඒවා තාවකාලිකයි.සුළංවලට ගස් හෙලවෙනවා,මල් හැලෙනවා,ගෙඩිත් හැලෙනවා.
තමන් ජීවත්වෙච්චි තමන්ට නැඟෙන කොට හිනා වුණ කතා කළ මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් ටිකක් හරි කැපවෙන්න පුළුවන්නම්,කරදරයකදි කතා කරන්න බලන්න පුළුවන් බැදීමක් ඉතුරු කර ගන්න පුළුවන්නම් මීට වඩා වෙනස් වෙයි.මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගේ ආශිර්වාද සමඟින් යන ගමන ගැන තේරෙන්න ගනියි.ඉදිරියට හෝ කළමණාකරුවන් මේ මුල් ඉදිරීම හරහා ඔවුන් වෙනස් ලෝකයක කිරුළු ගැන්වීම හරහා ඔවුන්ව අපකීර්තියට පත් කර ඇති බව තේරුම් ගත යුතුයි.පාරේ යනකොට දරුවෙකුට තමන්ගෙ මව්පියන්ගෙ ගුණ සුවද ගැන කතා ඇහෙන තත්ත්වයට ඒ ජීවිත කළමණාකරණය කිරීමත් ක්‍රිඩක කළමණාකරුවන් තමන්ගේ වගකීමක් බව තේරුම් ගත යුතුයි.
හැංගිලා ඉන්නෙ වීරයො නෙමෙයි.වීරයො ආදරෙන් ආරක්ෂා කරනවා.වීවෘතව පෙනී සිටින්නට පුළුවන් ඇත්ත වීර චරිත පොළවේ පැළ කරන්නට අවශ්‍යය වීරත්වයේ වැඩි ගුණාංග ප්‍රමානයක් සහ දක්ෂතාවයක් ක්‍රීඩකයන්ගේ ජීවිතවලින් ගලවා දමා ඇත්තේ කළමණාකරනය තුළින් විය හැකියි.


The post රොෂාන්ගේ කතාවේ යටි පෙළ appeared first on LNW Sinhala.
Saru News













