දකුණු ආසියාවේ පළමු වැනි රේඩියෝ විකාශනය එනම් ශ්‍රී ලංකාවේ රේඩියෝ සන්නිවේදනයට සියවසක් පිරීම නිමිත්තෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා ගුවන් විදුලි, පුවත්පත් විසින් කොළඹ අරලියගහ මන්දිරයේ සංවිධානය කෙරුණු උත්සවය ඊයේ (12) පැවැත්වුණි.
මේ සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය ගිහිදුම සුනිල් සෙනවි සහභාගී වූ අතර දැනට ජීවත්ව සිටින පැරණිතම ශ්‍රී ලාංකික ගුවන් විදුලි සන්නිවේදකයින්, ඉංජිනේරුවන් හා තාක්ෂණ ශිල්පීන් 30 දෙනෙකුද ඇගයීමට ලක් කරන ලදී.
මීට අමතරව ගුවන් විදුලි, පුවත්පත් හා සමාජ මාධ්‍ය අනුමණ්ඩලයේ සාමාජික, ආචාර්ය ධම්මික දිසානායක මහතා විසින් රචනා කරන ලද වෙළුම් 4කින් සමන්විත “A Century of Radio Broadcasting “නම් වූ පර්යේෂණාත්මක කෘතියේ පළමු වෙළුම ජනගත කිරීමද සිදු කෙරිණි. මීට අමතරව “ගුවන් විදුලි සමීක්ෂා 5 සැමරුම” පර්යේෂණ ලිපි එකතුව ද ජනගත කෙරුණි.
රේඩියෝ සියවස සැමරීම සඳහා විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ විද්‍යාර්ථින් අතර පැවැත්වූ රේඩියෝ වැඩසටහන් නිෂ්පාදන තරගාවලියේ ජයග්රාහකයින්ට සම්මාන පිදීමද සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ සියලුම රේඩියෝ නාලිකා ජාලයන් සඳහා සංඛතාත්මක සිහිවටනයක් ලෙස “ශ්‍රී ලංකාවේ රේඩියෝ සන්නිවේදනයේ පියා ” ලෙස සැලකෙන ඉංජිනේරු එඩ්වඩ් හාපර් මහතාගේ විශාලනය කරන ලද ඡායාරූපයක් ආරාධිත අමුත්තන් අතින් පිරිනැමීමද සිදුවිය.
මෙම උත්සවයට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගලගෙදර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රුවන් මාපලගම, නීතිඥ නිලන්ති කොට්ටහච්චි ඇතුලු මහත්ම මහත්මින් ද, පැරණි හා වර්තමාන රේඩියෝ සන්නිවේදකයින් රැසක්ද විද්‍යුත් මාධ්‍ය විකාශකයින් ද සහභාගි විය.




















Saru News










