රැල්ලට පා කර හැර දරුවන් මංමුලාවුවන් කරවමුද?

0
13


පාසල නිම වී පුතු සමඟ මම පාර පනින්නට බලා උන්නෙමි.

“යමු, යමු පරක්කු වෙනවා, අද පන්ති තුනට”

“අනේ අම්මේ සඳුදා එන්නේ නැත්නම් කොච්චර හොඳද?”

මම පිටුපස හැරී බැලුවෙමි. කතා කරන ඇස් ඇති කොණ්ඩ කරල් දෙකක් පිට මැද්දෙන් ඇද හැලෙන මුතු දසන් ඇති පුංචි කෙල්ල මට සිනාවක් පෑවාය.මමද ඇයට සිනහවකින් සංග්‍රහ කළෙමි.

සතියක අවෑමෙන් පුංචි හැඩකාරිය නැවත වරක් මුණගැසුනි. ඒ දෙතොල් අග පිපුනේ මලානික සිනාවක්ය.

“අම්මේ මෙයා ඉන්නේ එහා පන්තියේ” පුතු මට රහසින් කීවත් ඇගේ මවට ඒ රහස කන වැකෙන්නට ඇත.

“පුතා දෙකේද?”

“ඔව්”

“ඔයාලත් සමගි මාවතේද ?”

“ ඔව්”

“සමගි මාවතේ තේනුවර කියලා ටීචර් කෙනෙක් ඉන්නවාද?”

“අනේ අම්මේ තවත් පන්තියකට යන්න බෑ”

“ලොකු මිනිස්සුන්ගේ කතාවලට කට නොදා ඉන්න තරුෂී, ඒ ටීචර් ශිෂ්‍යත්වයට දැන් ඉඳලම හදලා ගන්නවලු”

“ඇත්තද?”

“ඔයා පුතාව පන්ති යවනවද?”

“ඔව් දෙමළ පන්තියකටයි, ඉංග්‍රීසි පන්තියකටයි තව චෙස් වලටත් යවනවා”

“ඇයි ඉතින් අනිත් ඒවට යවන්නේ නැත්තේ ”

“ඉස්කෝලේ කරන ටික හොඳටම ඇති, අනික මෙයාලගේ ටීචර් හොඳට උගන්වනවා”

“අනේ එහෙම කියලා බෑනේ, ඉස්කෝලේ ටීචර් හොඳ වුනාට අපේ පන්තියේ බාගෙට බාගයක් පන්ති යනවා, මෙයත් සිංහල, ගණිතය වලට මිස්ලා දෙන්නෙක් ගාවටම යවනවා ඉංග්‍රීසි වලට නම් එක පන්තියකට යවනවා”

“දරුවට නිදහසක් ඇත්තෙම නැහැ නේද? ආ… එහෙනම් අපි මෙතනින් යනවා“ මම ඇයට පැවසුවෙමි.

“හා හරි පස්සේ දවසක හම්බ වෙමුකො”

සති දෙකක් පමණ ඉකුත් විය. අපේ නිවස අසලදි පුංචි හැඩකාරියත් ඇගේ මවත් මට මුණගැසිනි. දියණියන් නැති නිසාවෙන්දෝ මම මේ පුංචි හැඩකාරියට ඇලුම් කලෙමි. හැඩකාරිය මා හා සිනා නොවුනාය.ඇගේ සිත කොහේදෝ නතර වී ඇති හැඩකි.

“චුටි දුව මොකද අද අසනීපද? ”

“නැහැ මට හරි මහන්සියි”

“ඔව් අනේ සතියෙම මෙයාට පන්ති නිවාඩුවක් ඇත්තෙම නැහැ,මේ පන්තියත් හොඳටම කරනවා, අපේ පන්තියෙයි ඔයාලගෙ පන්තියෙයි ළමයි හුඟක් ඉන්නවා”

“ඇත්තද? දුවගෙ කලින් පන්ති නැවැත්තුවද?”

“නැහැ, නැහැ දැන් තුනටම යවනවා, නැත්නම් කොහොමද ශිෂ්‍යත්වය පාස් කරගන්නේ ”

මසිතට දැනුනේ පුදුමයකි. ශිෂ්‍යත්වය පාස් කරගන්නට මේ පුංචි පැටවුන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම මව්වරුන් මංකොල්ල කනවා නොවෙද?. ඉතින් දරුවන්ගෙ සිත් වල යහපත් ළමා සිතුවිලි රෝපණයවනවා වෙනුවට එකෙකු පරයායන්ට ආත්මාර්ථය වපුරන්නේ වැඩිහිටි අපම නොවෙද? දෙමාපියන්ගේ සිහිනය තම දරුවන් නිසි ලෙස අධ්‍යාපනයෙන් සන්නද්ධ කොට සමාජයේ ඉහලම තලය වෙත පියමං කරනු දැකීමය. ඒ වෙනුවෙන් දෙමාපියන් වශයෙන් ඔවුන් ඇපකැප වන බව නොරහසකි. අධ්‍යාපනය වූ කලී ජිවිතයේ එක් අංශයක් පමණක්මය.  ඒ වෙනුවෙන් දරුවන්ගේ ළමාවිය විඳ ගැනීමේ අවස්ථාව කප්පාදු නොකල යුතුය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here