රාජාංගණය හිමි තවමත් කුණුහරුප කියනවාදැයි බලන්න නියෝගයක්

0
3

රාජාංගණයේ සද්ධාරතන හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වචන බහුලව යොදා ගනිමින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (18) නියෝග කළේ ය.

සැකකාර රාජංගණයේ සද්ධාරතන හිමියන් ඇප මත මුදා හරින අවස්ථාවේදී නැවත අසභ්‍ය වචන ප්‍රකාශ නොකරන ලෙසට අවවාද කරමින් දුන් නියෝගය ඇප පනත ප්‍රකාරව උල්ලංඝනය කර ඇත්දැයි සොයා බලා ලබන අප්‍රේල් 22 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

මෙම සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වයේ පාහිංගල ආනන්ද සාගර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සැකකාර රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට 2023 ජූලි 02 වැනිදා ඇප දීමේදී අසභ්‍ය වචන ප්‍රකාශ නොකරන ලෙසට අවවාද කරමින් ඇප කොන්දේසියක් පනවා ඇතැයි සඳහන් කළේ ය.

එම අධිකරණ නියෝගයෙන් අනතුරුව සැකකාර රාජංගණයේ සද්ධාරතන හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශයන්වලදී අසභ්‍ය වචන වැඩියෙන් භාවිත කරන බවත්, සැකකාර හිමි භික්ෂූන් වහන්සේලා, නීතිඥවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන ප්‍රකාශ කරන බවත්, අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ සියලු කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස අගතියට පත් පාර්ශ්වයන්ට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඒවා සලකා බලා පරීක්ෂණයක් කර වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here