රාජ්‍ය සේවයේ අපාය! ; ඊළඟ ගොදුර ඔබද?

0
3

ඌව පළාත, බදුල්ල දිස්ත්‍රික්කය රාජ්‍ය සේවයේ ඉහළම තනතුර දරණ පරිපාලන හා ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ට ‘අපායක්’ බවට පත්වී ඇත. හිටි හැටියේ ලැබෙන ස්ථාන මාරුවීම් ය. නින්දා අපහාස සහ ගැරහීම් ය. බොරු චෝදනාය. විවිධ චෝදනා යටතේ පරිපාලන සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 30 කට වැඩි අමාරුවේ වැටී ඇත. තවත් පිරිසකට රිමාන්ඩ් බන්ධනාගාර ගත වන්වට සිදු විය.

සරළ පරිපාලන ගැටළු, පරිපාලන අතපසුවීම් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව/අල්ලස් කොමිසම හරහා කටයුතු කිරීම නිසා තවත් නිලධාරීන් දුසිමකට වඩා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

ඌව – බදුල්ල පාලනය කරන්නේ ‘ගුරුවරු – ලිපිකරු – රියදුරන්ගෙන් සමන්විත’ කමිටුවකින් බව රාජ්‍ය නිලධාරීන් අතර ප්‍රසිද්ධ කතාවකි. සියල්ල තීරණය වන්නේ දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය අනුවය.

පරිපාලන සේවයේ අති දක්ෂ නිලධාරීන් ‘සිය වෘත්තීය ජීවිතයේ විදින අපමණ පීඩාවන්ට, නින්දාවන්ට පත්ව ඇත්තේ වැඩ බැරි, උද්ධච්ච හීනමානයෙන් පිරී ගිය දේශපාලනඥයින් අතිනි.

මේ ඒ දුෂ්ඨ චක්‍රයට හසුවු කිහිප කිහිප දෙනෙකි.

1) ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මිය සංචිතයට මාරු කිරීම
2) ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කර පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ලෙස පත් කර එතැනට කණිෂ්ඨ නිලධාරියෙකු පත් කිරීම (ජෝපියස් මහතා විශ්‍රාම ගැනීමට ඉතිරිව තිබුණේ මාස කිහිපයකි)
3) පළාත්පාලන කොමසාරිස් හේමන්ත දිසානායක මයා මාරු කර මහියංගනය පැත්තේ සිටි කණිෂ්ඨ නිලධාරියෙකු එම තනතුරට පත් කිරීම
4) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දයානන්ද රත්නායක නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කර, කණිෂ්ඨ නිලධාරියෙකු ලේකම් කරවීම
5) කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උපාලි ජයසේකර මයා බලෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයට මාරු කර කණිෂ්ඨ නිලධාරිනියක් ලේකම් කරවීම
6) චෝදනාවට ලක්වූ මහේෂ් ලසන්ත ගම්මන්පිල මයා ප්‍රධාන ලේකම් කර කෙටි කලකින්ම ධූරයෙන් පහවීම (රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම — ඔහු ගේ වෘත්තීය ජීවිතය විනාශ කිරීම. අශුචි පොහොර ගෙන්වනු ලැබූවේ මහේෂ් නොවේ. ඔහු බෙල්ල දුන්නේ පරිපාලන ගැටළුවකටය)
7) ඌව පලාතම කලාගාරයක් යැයි සිතන නිලධාරිනියක ප්‍රධාන ලේකම් කිරීම
8. රජය ආරම්භයේම පලාත් පාලන කොමසාරිස්වරයා වූ මංගල විජේනායක මොණරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් කර මාරු කිරීම
9) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත් කර කණිෂ්ඨ නිලධාරීන් යොදවා පක්ෂයේ අභිමතයන්ට යෙදවීම
10) දක්ෂ තරුණ නිලධාරියෙකු වන සම්පත් නිශ්ශංක මයා කොළඹ ගෙනත් අනාථ කර නැවත ආපසු බදුල්ලට යැවීම හා ඔහු විසින් සිදු කළ සියළු කැපකිරීම් නොතකා හැරීම
11) මහියංගන හා සියඹලාණ්‌ඩුවේ සිටි දක්ෂ ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට යවා පළාතේ සංවර්ධනය අඩාල කිරීම සහ දැන් ඔවුන් පවුලෙන් ඉවත් කරන තැනට වැඩ සැලසීම
12) බදුල්ල නාගරික කොමසාරිස්වරයා මාරු කර යැවීම.
(රිමාන්ඩ් බන්ධනාගාර ගත වන්නට සිදුවු කාන්තා නිලධාරීන් ඇතුළු පිරිස ගැන මෙහි සටහන් නොකරන්නේ ඔවුන්ගේ ඉල්ලීම පරිදි ය. මේ බහුතරයක පැමිණිල්කරු ද, තීරකයා ද, මෙහෙයවන්නා ද, දේශපාලනඥයෙකු සහ ඔහුගේ හෙන්චයියන් වන ගුරු – ලිපිකරු – රියදුරු පිරිසකි)

මෙහි අසන්නතම ගොදුර බදුල්ල මහ දිසාපති ප්‍රභාත් අබේවර්ධන ඉවත් කිරීම ය. ඔහු ඕනෑම ආණ්ඩුවක් යටතේ නිදහස්ව ‘රාජ්‍ය සේවය කළ හැකි’ වැඩකාරයෙකි. දක්ෂයෙකි. ඔහුට ඇති චෝදනාව ‘සර් ‘ කියන්නේ නැති කම ය.

බදුල්ලේ රාජ්‍ය සේවකයින් මේ අත්තනෝමතික තීරණයට එරෙහිව ඊයේ විරෝධය පල කරමින් ඇත. අද මුළු බදුල්ලේම ප්‍රාදේශීය කාර්යාලවල විරෝධතා පැවැත්වේ. එය යහපත් ප්‍රවණතාවයකි. ප්‍රමාද වී හෝ රාජය සේවකයින් සිය ගෞරවය රැක ගන්නට එක්ව පෙළ ගැසීම යහපත් ය.

බදුල්ල දිසාපති ප්‍රභාත් ට දිසාපති පුටුව නැතිවීමට ආසන්නතම හේතුව රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම්වරිය (තක්ෂිලා) සම්බන්ධ සිදුවීමක් පිළිබඳ ඇයට දුරකතනයෙන් අවවාද කිරීමය. අනාචාර චෝදනා මත දිසාපතිවරයා විසින් අවවාද කර තිබිය දී, ඇයගේ අනියම් සැමියාට සම්බන්ධ විඩියෝවක් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබුණි. බදුල්ලේ දේශපාලනඥයෙකුට ඉහත සිදුවීමෙන් පසුව ද, ලේකම්වරිය රැක ගැනීමට අවශ්‍යව තිබුණි.

මිත්‍රවරුණි, මේ වසරකට පෙර 80% කට වඩා රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දයෙන් බලයට පත් කර ගත් ආණ්ඩුවයි. දැන් වැඩියෙන්ම ගුටි කන්නේ රාජ්‍ය සේවකයින්ය. හිරේ වැටෙන්නේ ද ඔවුන්මය.

රටේම තත්වය බදුල්ලට වඩා වැඩි වෙනසක් නැත.

දේශපාලනය නිසා ඌව – බදුල්ල රාජ්‍ය සේවය නින්දිතම තැනකට වැටී ඇත. මේ අසම්පූර්ණ ලැයිස්තුව එයට සාක්ෂියක් පමණී.

‘සෙවනගල දුඹුරු සීනි අක්කා’ යැයි රට හඳුණන සීනි සමාගමේ සභාපතිනිය නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර ද මුදල් ගෙවීමකට සිය අකමැත්ත ප්‍රකාශ කර ඊයේ සිය අස්වීමේ ලිපිය බාර දී ඇත. ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපියේ ලියන්නේ ‘increasingly difficult to discharge my duties in a manner consistent with good governance and institutional integrity’ කියාය.

රාජ්‍ය සේවයේ ගෞරවය රැක ගැනීමට බදුල්ලේ නිලධාරීන් එක්වීම යහපත් ප්‍රවනතාවයකි. රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන්ට සැඟවෙමින්, නිවට නියාලු ලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙමින් ගෙවන මේ පිඩාකාරී ජීවිතය තුල විමුක්තියක් නොමැති බවට බදුල්ල දිසාපති ප්‍රභාත් ට අත් ව ඇති ඉරණම විසින් හෝ අවබෝධ කර ගත යුතුව ඇත.

✍️රජිත් කීර්ති තෙන්නකෝන්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here