රාජපක්ෂ පවුලේ ආරවුල අධිකරණයට! පුංචි ඡන්දයෙන් පත්වන මාලිමා මන්ත්‍රීවරුන්ගේ ධුර අහිමිවීමේ අනතුරක්! Sri Lanka Latest News

0
18


මැතිවරණ ප්‍රචාරක රැලියකදී අපේක්ෂකයකුගේ කළමනාකරුවකු විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී ධුරය අහිමි වීමේ සිදුවීමක් 1983දී සිදුවුණා. එකල පැවැති කොට්ඨාස ක්‍රමය යටතේ මන්ත්‍රී ධුරයට පත්ව සිටි එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුලරත්න මහතාගේ මන්ත්‍රී ධුරය එලෙස අහිමිවූ අතර, මෙම සිදුවීම මෙරට මැතිවරණ ඉතිහාසයේ අසත්‍ය ප්‍රකාශයක් හේතුකොටගෙන ඡන්ද පෙත්සමක් මගින් මන්ත්‍රී ධුරයක් අහිමි කළ සුවිශේෂ අවස්ථාවක් ලෙස ඉතිහාසගතව තිබෙනවා. ඒ අනුව, එම සිදුවීමට පාදක වූ අතීත කතාව සහ එය අත්දැකීම වර්තමාන දේශපාලනය යොදාගත හැකි ආකාරය පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිදුකළ පැහැදිලි කිරීමක් පහත පළවේ. මෙය, උදය ගම්මන්පිල මහතාගේ යූටියුබ් නාලිකාවට පසුගියදා එක්කර තිබූ සංවාදයකින් උපුටාගන්නා ලද්දකි. Sri Lanka Latest News

ඔබ පසුගිය දවසක එක්තරා ජන හමුවකදී කරපු ප්‍රකාශයක් මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩි වශයෙන් ප්‍රචාරය වෙනවා. ඒ තමයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියපු බොරුවක් නිසා ආනන්ද කුලරත්න මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහිමි වීමේ සිද්ධිය. මොකක්ද මේ කතාවට පාදක වුණු කතා ප්‍රවෘත්තිය?
1983 මුල්කිරිගල අතුරු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුලරත්න මන්ත්‍රීවරයා ජයග්‍රහණය කළා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකා නිරූපමා රාජපක්ෂ මහත්මිය අභියෝගයට ලක්කළා ඒ පත්වීම. ආනන්ද කුලරත්න මන්ත්‍රීතුමාගේ එකල ඡන්ද නියෝජිතයා ලෙස කටයුතු කරපු බැසිල් රාජපක්ෂ මහත්මයා තමන් ගැන බොරුවක් කිව්වා, ඒ බොරුව නිසා තමන්ට අපකීර්තියක් වුණා, ඒ නිසා තමයි තමන්ට ජයග්‍රහණය කරන්න බැරිවුණේ කියලා නිරූපමා මහත්මිය ඡන්ද පෙත්සමක් හරහා කිව්වා.

මොකක්ද මේ අතුරු මැතිවරණය?
ඉස්සර මැතිවරණ පවත්වන්නේ කොට්ඨාස ක්‍රමයට. කොට්ඨාසයට තමයි මන්ත්‍රී පත්වෙන්නේ. 1989 වනතුරුම මේ ක්‍රමය පැවැතුණා. එතකොට යම් කොට්ඨාසයක ඉන්න මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වුණොත්, මියගියොත්, ඉවත් කළොත්, පුරප්පාඩුවක් ඇතිවුණාම දැන් වගේ පක්ෂ ලේකම්ට ඒ පුරප්පාඩුව පුරවන්න බෑ. ඒ කාලේ නීතිය තමයි ඒ කොට්ඨාසයට නැවත මැතිවරණයක් තියලා ජනතාවට අවස්ථාව දෙනවා තමන්ගේ ඊළඟ මන්ත්‍රීවරයා තෝරන්න.

ඡන්ද පෙත්සම කියන්නේ මොකක්ද?
මැතිවරණයකදී අසාධාරණය ලෙස මැතිවරණය ජයග්‍රහණය කළා කියලා පරාජිත අපේක්ෂයෙක් හිතනවා නම්, ජයග්‍රහණය කරපු අපේක්ෂකයාගේ ජයග්‍රහණය අභියෝගයට ලක්කරලා අධිකරණයට ඉදිරිපත් කරන පෙත්සමට තමයි ඡන්ද පෙත්සමක් කියලා කියන්නේ.

1983දී පැවැත්වුණු මුල්කිරිගල අතුරු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වුණේ ආනන්ද කුලරත්න කියන තරුණයා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුණේ නිරූපමා රාජපක්ෂ කියන තරුණිය. මෙහිදී ආනන්ද කුලරත්නගේ ඡන්ද නියෝජිතයා, එහෙම නැත්නම් මැතිවරණ කළමනාකරු වෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා. හැබැයි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ඡන්ද නියෝජිතයා වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා. රාජපක්ෂ පවුලේ අයියලා මල්ලිලා දෙන්නා තමයි එදා දෙපැත්තේ ඡන්ද නියෝජිතයෝ වුණේ. මුල්කිරිගල ආසනයේ 1960 සිට 1976 දක්වා දීර්ඝ කාලයක් මන්ත්‍රී ධුරය දැරුවේ හිටපු ධීවර අමාත්‍ය ජෝර්ජ් රාජපක්ෂ. මේ ජෝර්ජ් රාජපක්ෂ ශ්‍රීලනිපයේ. අතුරු මැතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ ජෝර්ජ් රාජපක්ෂ මහතාගේ දියණිය නිරූපමාව. නිරූපමා පෝස්ටරයක් ගැහුවා ‘ජෝර්ජ් මැතිඳුන්ට කළගුණ සලකමු – නිරූපමා දිනවමු’ කියලා. ප්‍රදේශයට වැඩක් කරපු ජෝර්ජ් ඇමැතිතුමාට කළගුණ සලකන්න ඔහුගේ දියණිය නිරූපමාට ඡන්දේ දෙන්න කියන එක තමයි ඒකෙන් අදහස් කළේ. මේ කතාව නැගලා ගියා.

දැන් ආනන්ද කුලරත්නටත් වඩා ඔහුගේ මැතිවරණ කළමනාකරු බැසිල් රාජපක්ෂ මහත්තයට තමයි මේක ප්‍රශ්නයක් වුණේ. ඒ නිසා ආනන්ද කුලරත්නගේ මැතිවරණ ප්‍රචාරක රැලියකදී බැසිල් රාජපක්ෂ කියනවා ‘මුල්කිරිගල ජනතාවට කළගුණ සලකන්න කියලා ඉල්ලා සිටින නිරූපමා රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂට කළගුණ සැලකුවාද? තමන්ගේ ආදරණීය තාත්තට සලකපු නැති දුවෙක් තමයි මුල්කිරිගල ජනතාවට කළගුණ සලකන්න කියලා කියන්නේ’ කියලා. ‘ජෝර්ජ් ඇමැතිතුමා හෘද සැත්කමකට එංගලන්තේ යන්න සූදානම් වෙලා කොළඹ ඇවිල්ලා නිරූපමා ඉන්න ගෙදරට ගිහිල්ලා දොර ඇරියාම, තාත්තව ගෙට ගන්නේ නැතුව නිරූපමා දොර වැහුවා. අඩුම ගානේ තාත්තා ගුවන් තොටුපළට යනකොටවත් නිරූපමා තාත්තා එක්ක ගුවන්තොටුපළට ගියේ නෑ. අදටත් ජෝර්ජ් රාජපක්ෂගේ මිනී අළු ටික මිහිදන් කරලා ස්මාරකයක් ඉදිකරලා නෑ, එහෙව් දුවද මේ ජනතාවට කෙළෙහිගුණ සලකන්න උගන්වන්නේ’ කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වා. මොනවා වුණත් ඔය කතාව පැතිරෙන්න ගත්තාම නිරූපමාට ගොඩනැගිලා තිබුණු රැල්ල කඩාගෙන වැටුණා. අවසානයේ නිරූපමා මහත්මිය ඡන්දෙන් පරාද වෙනවා. ඉන් පස්සේ ඇය ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරලා කිව්වා මම පැරැදුණේ මා ගැන වැරැදි ප්‍රතිරූපයක් ඇතිකරන්න විපක්ෂයේ මැතිවරණ නියෝජිතයා බැසිල් රාජපක්ෂ කටයුතු කරපු නිසා කියලා.

ඒ ඡන්ද පෙත්සම පිටිපස්සේ නිරූපමාගේ කළමනාකරු මහින්ද රාජපක්ෂ ඉන්න ඇති නේද?
ඔව්. මහින්ද රාජපක්ෂ මහත්තයා තොරතුරු හොයලා, මේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටියා. නිරූපමා මහත්මිය තමන්ගේ ඡන්ද පෙත්සමේදී සාක්ෂිකරුවන් ඉදිරිපත් කරලා කියනවා, මම ඒ දවස්වල පාසල් යන දැරියක්. තාත්තා උදේ මාව බලන්න ආවා. මම ඉතා ආදරෙන් පිළිගත්තා. තාත්තා මට කිව්වා පුතේ මම එංගලන්තේ ගිහිල්ලා සනීපවෙලා එන්නම්, ඔයා පාසල් ගමන කඩාකප්පල් කරගන්න එපා කියලා. ඊට පස්සේ තාත්තම තමයි මාවයි මල්ලිවයි එක්කගෙන ගිහිල්ලා ඉස්කෝල දෙකට දැම්මේ කියලත් ඇය කිව්වා. ඒකට සාක්ෂිත් ඉදිරිපත් කළා. තාත්තා අපිට එන්න එපා, ඉස්කෝලේ යන්න කියපු නිසා තමයි ගුවන් තොටුපළට අපි ආවේ නැත්තේ. මගේ තාත්තා තරම් මට වටිනා දෙයක් නෑ, මම තාත්තගේ ස්මාරකයක් හදලා නැත්තේ ඒ මිනී අළු ටික තවමත් මගේ ගෙදර මම තැන්පත් කරගෙන ඉන්න නිසා. ඒ අළු බඳුන දකිද්දී තාත්තා ගෙදර ඇතුළේ ඉන්නවා වගේ දැනෙන නිසයි ස්මාරකයක් හැදුවේ නැත්තේ. ස්මාරකයක් හැදුවා නම් මට ඒකෙන් දේශපාලන වාසි ගන්න තිබුණා, නමුත් මම එහෙම කළේ නෑ කියලා නිරූපමා සිය ඡන්ද පෙත්සමෙන් චෝදනා කළා. අවසානයේ බැසිල් රාජපක්ෂ කියපු කතා බොරු බව අධිකරණය තීරණය කරලා, ආනන්ද කුලරත්න මන්ත්‍රීවරයගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න තීරණය කළා. ඒ නඩුව දිනලා යළිත් අතුරු මැතිවරණයක් පවත්වන්න අධිකරණය නියම කළාම දේශපාලනයේ ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුණා. එතකොට නිරූපමා රාජපක්ෂ මහත්මිය චන්ද්‍රිකා – විජය කණ්ඩායමත් එක්ක ශ්‍රීලනිපය කඩාගෙන එළියට ගිහිල්ලා. ඒ නිසා දැන් කවුද අපේක්ෂකයා වෙන්නේ? චමල් රාජපක්ෂ මහත්තයා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ආනන්ද කුලරත්න් මහත්තයා. නැවත වතාවක් බැසිල් රාජපක්ෂ මහත්තයා වැඩකරනවා ආනන්ද කුලරත්නට. මහින්ද රාජපක්ෂ මහත්තයා වැඩකරනවා තමන්ගේ සහෝදරයා වෙන චමල් රාජපක්ෂ මහත්තයට. ආනන්ද කුලරත්නව ජයග්‍රහණය කරවන්න, ආනන්ද කුලරත්නට වඩා අවශ්‍යතාව තියෙන්නේ බැසිල් රාජපක්ෂට. කොහොම හරි ඒ මැතිවරණයත් ආනන්ද කුලරත්න ජයග්‍රහණය කළා. මේ සිදුවීමේදී අපිට ගන්න තියෙන පාඩම ඉතා වැදගත් ඉදිරියට එන්න තියෙන පුංචි ඡන්දෙට. ඒ තමයි, ඔබේ වේදිකාවේ ඔබ වෙනත් අපේක්ෂකයෙක් පිළිබඳ බොරුවක්, අසත්‍යයක්, මඩක් ප්‍රකාශ කළොත් ඔබේ අපේක්ෂකයාගේ මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවදානම තියෙනවා.

එහෙම බැලුවොත් වර්තමාන පාර්ලිමේන්තුවේ බොහෝ දෙනකුගේ මන්ත්‍රී ධුර අහිමි වෙන්න පුළුවන්නේ…?
මාලිමාවේ බොරු කියන මන්ත්‍රීවරුන්ට විරුද්ධව නඩු දාන්න ඕනේ කවුද? මාලිමාවෙන් ඉල්ලලා පැරැදුණු අය. ඒගොල්ලෝ බොරු සමාගමේ සාමාජිකයොනේ. ඒ නිසා ඒගොල්ලෝ බොරු කිව්වා කියලා නඩු දාන්න බෑ මොකද ඒගොල්ලොත් වේදිකාවේ බොරු කියලා තියෙනවා. ඒ නිසා මාලිමාවේ මන්ත්‍රීවරුන්ට අභියෝගයක් වෙලා නෑ. හැබැයි මෙදාපාර පුංචි ඡන්දෙට මනාප ක්‍රමය නෙවෙයි තියෙන්නේ කොට්ඨාස ක්‍රමය. ඒ නිසා ඔබේ පක්ෂයෙන් ඉන්නේ ඔබ විතරයි. ඔබ අනෙක් සහෝදර පක්ෂවල අපේක්ෂකයන් එක්ක තරග කරන්න. එතකොට ඔබ වෙනත් අපේක්ෂකයකුට එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් කළොත් තරගකාරී අපේක්ෂකයා ඔබට විරුද්ධව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළොත් ඔබේ මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවදානමක් තියෙනවා.

අපි බොරු කින්න හොඳ නැත්තේ බොරු නරක නිසා. හැබැයි ඒ සියල්ලට අමතරව මැතිවරණ නීතියෙත් කියලා තියෙනවා විශේෂයෙන්ම අනෙකුත් අපේක්ෂකයන් සම්බන්ධයෙන් බොරු කියන්න එපා කියලා.

මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහිමි වීමට බලපාන තවත් මේ වගේ හේතු තියෙනවද?
අපේක්ෂකයෝ 75,000ක් විතර ඉන්නවා. ලක්ෂ හතක් අටක් මැතිවරණ කටයුතුවල යෙදෙනවා. මැතිවරණය තියෙන්නේ මැයි 06 වැනිදා. ඊට කලින් සිංහල අලුත් අවුරුද්දත් එනවා. යම් අපේක්ෂකයෙක් තමන්ට ඡන්ද ලබාගැනීමේ අරමුණෙන් වියළි ආහාර බෙදීම, අවුරුදු උත්සවවල සිසිල් බීම වගේ සංග්‍රහයකට අනුග්‍රහය දැක්වීම වගේ දෙයක් කළොත් ඒක ‘සංග්‍රහය’ කියන වරදට අයිති වෙනවා.

කවුරු හරි කෙනෙක් ‘අහවල් අපේක්ෂකයාගේ අනුග්‍රහයෙන්’ අවුරුදු උත්සවයක් සංවිධාන කළොත් ඒකත් වරදක්ද?
බෑ. ඒක සංග්‍රහයක්.

සංගීත සංදර්ශනයක් කළොත්?
ඒකත් බැහැ. ඒ වගේම තවත් දෙයක්. අයුතු බලපෑම. අයුතු බලපෑම කියන එක දෙයාකාරයි. ‘අහවලාට ඡන්දේ දුන්නොත් ඔබේ රැකියාව නැතිවෙයි, අහවලාට ඡන්දේ දුන්නොත් ඊළඟ උසස්වීම ලැබෙන්නේ නෑ, රැකියාවේ ස්ථාන මාරුකිරීමකට ලක්වෙයි, ඔබේ දරුවාව පැහැරගන්නවා’ වගේ කවුරු හරි බලපෑම් කළොත් ඒක ලෞකික අයුතු බලපෑම් ගණයට යටත් වෙන වරදක්. ඊළඟ බලපෑම් වර්ගය තමයි ලෝකෝත්තර අයුතු බලපෑම. කෙනෙක් කිව්වොත් ’අහවලාට ඡන්දේ දුන්නොත් උඹට හෙණ හතම ගහනවා’ කියලා ඒක එවැනි අයුතු බලපෑමක්. මොකද ඒ හරහා මානසිකව බියවැද්දීමක් නිසා. ඒ වගේම කවුරු බරි කිව්වොත් ‘අහවලාට ඡන්දේ දුන්නොත් ඒක ආනන්තරීය පාපකර්මයක්’ කියලා. ඒ හරහාත් සිදුවෙන්නේ අයුතු බලපෑමක්. ඒ වගේම කිසියම් අපේක්ෂකයකුට හෝ පක්ෂයකට ඡන්දය දුන්නොත් එම ආගමේ චාරිත්‍ර වාරිත්‍රවලට තමන් සහභාගි නොවන බවට යම් ආගමක නායකයෙක් විසින් එම ආගම අදහන අයට කිව්වොත් ඒකත් අයුතු බලපෑම් ගණයට අයිතියි. ඒ නිසා මේ සාකච්ඡාව මාලිමාවේ අපේක්ෂකයෙක් බැලුවොත්, මට එක දෙයක් නම් සහතිකයි. ඒ තමයි, තමන්ගේ මැති ඇමැතිවරුන්ව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට නම් එක්කගෙන එන එකක් නෑ.

Udaya Gammanpila යූටියුබ් නාලිකාව



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here