රසට පහසුවට බිස්කට් ගෙදරදීම හදමුද?

0
11


ඉස්සරට වඩා බිස්කට් වල රස දැන් වෙනස් වෙලා නේද? 

පුංචි කාලෙ ලස්සන රසවත් මතක් එකතු කරපු සුවඳ විස්කෝතු අපේ පොඩ්ඩන්ට රස විඳින්න අවස්ථාව නැති එක ගැන කනස්සල්ලෙන් ඉන්න ඔබට ඔන්න හරිම පහසුවෙන් රසවත්ව බිස්කට් හදන විදිහ කියල දෙන්නයි අපි අද සූදානම් වෙන්නෙ.  

එහෙනම්, මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

(බිස්කට් 15 ක් පමණ සෑදීමට)

  • බටර් හෝ මාගරින් 30 g ක් 
  • කිරි 30 ml ක්
  • පාන් පිටි 150 g ක්
  • ලුණු ස්වල්පයක්
  • සීනි 50 g ක්
  • බේකින් සෝඩා තේ හැඳි ¼ ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ලිපතබා එයට සීනි, කිරි සහ බේකින් සෝඩා එකතු කර රත්කර ගන්න.

සීනි හොඳින් දියවී කිරි බුබුළු එනතුරු රත්වූ පසු භාජනය ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.

අවන් එක සෙන්ටිග්‍රේට් අංශක 160 ට රත්වීමට තබන්න.

බේකින් තැටියක් මත තෙල් කඩදාසියක් අතුරා සූදානම් කර තබන්න.

දැන් වෙනම භාජනයක් ගෙන එයට පිටි, බටර් සහ ලුණු බිඳක් එක්කර ගෙන ගැරුප්පුවක් ආධාරයෙන් හොඳින් කලවම් කරගන්න.

හොඳින් කලවම් වූ පසු හොඳින් නිමුණු කිරි මිශ්‍රණය එයට එක්කර කලවම් කර ගුලියක් සාදාගන්න. 

දැන් පැතලි මතුපිටකට පිටි ස්වල්පයක් ඉස සාදාගත් මිශ්‍රණයෙන් කොටස බැගින් ගෙන මිලිමීටර් දෙකක හෝ තුනක පමණ ඝනකමට ඒ මත තුනීකර ගන්න.

ඔබ කැමති හැඩයක කටර් එකක් හෝ පියනක් භාවිතයෙන් අතුරාගත් පිටි මිශ්‍රණයෙන් බිස්කට් කපාගන්න. 

සූදානම් කර තැබූ බේකින් තැටියේ එක මත එක නොසිටින සේ අඟල් භාගයක පමණ ඉඩ තබමින් සාදාගත් බිස්කට් අතුරා ගන්න.

(ඔබ කැමති නම් බිස්කට් වලට උඩින් සීනි ටිකක් ඉසගන්නත් පුළුවන්)

රත් වීමට තැබූ අවන් එකේ විනාඩි 08 ක් 10 ක් පමණ බේක් කරගන්න. 

නිමුණු පසු හුළං නොවැදෙන භාජනයක අසුරා අවශ්‍ය වෙලාවට කෑමට ගන්න ඔබට පුළුවන්. 

එහෙමනම්, බය නැතුව කන්න රසට පිරිසිදුවට බිස්කට් හදාගන්න දැන් ඔබටත් පුළුවන්.

මෙවැනි රසවත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here