
ඩෙංගු රක්තපාත රෝගී තත්වය නිසා රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 36 හැවිරිදි දෙදරු මවක් මරුමුවට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
රත්නපුර කුකුණගොඩ කරන්ගොඩ පදිංචි වයි. නිලන්ති මහත්මියගේ හදිසි මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේදී පෙරේදා (20) සිදු කළ අවස්ථාවේදී ඇයගේ මරණයට හේතුව ඩෙංගු රක්තපාත රෝගී තත්ත්වයක් බව අනාවරණය විය.
රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසින් මෙම හදිසි මරණ පරීක්ෂණය සිදු කළේය. එම රෝහලේ අධිකරණ වෛද්‍ය රෙජිස්ට්‍රාර් වෛද්‍ය සිසිර කුමාර දිසානායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර එහි නිගමනය වූයේ ඩෙංගු රක්තපාත උණ වැලඳීමෙන් ශරීරයේ බහු අවයව අකර්මණ්‍යතාවට ලක්වීමෙන් මෙම මරණය සිදුව ඇති බවය.
මියගිය කාන්තාවගේ සැමියා වන ආර්.ඩී. සුගත් චමින්ද මහතා හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් සඳහන් කළේ සිය බිරිය සති දෙකකට පෙර රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර දින කිහිපයකින් ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවයි. ඇයට වෙනත් කිසිදු රෝගී තත්ත්වයක් නොතිබුණු බවද ඔහු පැවසීය.
රත්නපුර ප්‍රදේශයේ පැතිරී ඇති ඩෙංගු උවදුර ජීවිත බිලි ගන්නා තත්ත්වයකට පත්ව ඇති නිසාත් වැසි සහිත කාලගුණය හමුවේ ඩෙංගු අවදානම වර්ධනය විය හැකි නිසාත් වඩාත් විමසිලිමත්ව තම පරිසරය පිරිසිදුව තබාගෙන ඩෙංගු මර්දනයට සහාය දක්වන ලෙස හදිසි මරණ පරීක්ෂක ටී.එම්. හරීන්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා රත්නපුර සහ අවට ජනතාවගෙන් ඉල්ලීමක් ද මෙහිදී කළේය.
රත්නපුර ශික්ෂණ රෝහලේ පොලිස් මුරපොළේ සැරයන් (60495) වසන්ත සඳරුවන් මහතා සාක්කි මෙෙහයවිය.
ඩෙංගු රෝගය හේතුවෙන් පසුගිය දෙසතියකදි රත්නපුර ශික්ෂණ රෝහලෙන් මරණ දෙකක් වාර්තා විය.
Saru FM Media