ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ආනයනික ගල් අඟුරු සම්බන්ධයෙන් මේ වන විට රට තුළ විශාල සංවාදයක් ගොඩනැගී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව කරුණු පැහැදිලි කිරීම් කර තිබුණද තවදුරටත් ඒ සම්බන්ධ ගැටළුකාරී තත්ත්වය පහව ගොස් නැහැ.
මේ හේතුවෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රශ්නගත ගල්අඟුරු නෞකා තුනෙහි ප්‍රමිති වාර්තා සහ අවසන්වරට පැමිණි නෞකාවේ ගල්අඟුරුවල තත්ත්වය සමබන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකළ රසායනාගාර වාර්තා එළැඹෙන කාරක සභා රැස්වීමට යොමු කරන ලෙස අදාළ නිලධාරීන්ට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නියම කර තිබෙනවා.
එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්ව තිබුණු අතර එදින කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ නිලධාරීන් කැඳවා තිබුණි.
එහිදී කාරක සභාව විසින් ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු පැහැදිළි කරගැනීමක් සිදුකර ගෙන තිබෙන අතරම අවසන්වරට ගල්අඟුරු ආනයනය සිදුකිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා කරුණු පැහැදිලි කරගෙන ඇති බව සඳහන්.
ඒ අනුවයි අවසන් වරට දිවයිනට පැමිණි ගල් අඟුරු නෞකා තුන සම්බන්ධයෙන් වාර්තා කැඳවීමට කටයුතු කර ඇත්තේ.
මෙම ප්‍රශ්නගත කාරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කාරක සභාවේදී කරුණු සාකච්ඡා කර තිබෙනවා. මෙම ගල් අඟුරු තොග ආනයනය කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධව කටයුතු කළ සීමාසහිත ලංකා ගල්අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා ඊලඟ රැස්වීමේදී කාරක සභාව හමුවට කැඳවීමටද නියමිතයි.
එක් පැත්තකින් මේ ගල් අඟුරු ප්‍රශ්නය දිග ඇරෙද්දි අනෙක් පසින් අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
Saru News








