යළි කිසිදා ගොවි ජනතාවගේ නිෂ්පාදනවලට අසාධාරණ මිලක් නියම කිරීමට ඉඩ දෙන්නේ නැහැ – ජනපති අනුරාධපුරයේදී පවසයි

0
6


යළි කිසි දිනක මෙරට ගොවි ජනතාවගේ වී සහ කෘෂි නිෂ්පාදන අසාධාරණ මිලකට මිලදී ගැනීමට ඉඩ නොදෙන බවත් ආණ්ඩුව මැදිහත් වී සාධාරණ මිලක් ස්ථාපිත කරමින් ගොවියා ආරක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
රජයේ තීන්දු තීරණ හේතුවෙන් දිගු කලකට පසු පසුගිය කන්නවලදී ගොවි ජනතාවට වී සහ  බඩඉරිඟු සඳහා සාධාරණ මිලක් ලැබුණු බවත්, කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත් ජනාධිපති ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට පසුගිය 25දා අනුරාධපුරයේදී එක්වෙමිනි
බිත්තර වී ඇතුළු බීජවල මිල ඉහළ යාම ගොවි ජනතාවට දරාගත නොහැකි බැවින් මහඉලුප්පල්ලම ගොවිපොළ ඇතුළු බීජ පර්යේෂණ ආයතන දියුණු කර ගොවි ජනතාවට සාධාරණ මිලකට බිත්තර වී ලබාදීමට සැලසුම් කර තිබෙන බවද පැවසූ ජනාධිපති කෘමිනාශක සහ වල්නාශක වෙළෙඳපොළට රජය තරගකාරී ලෙස මැදිහත් වන බවද ප්‍රකාශ කළේය.
එමෙන්ම ගොවිජනතාවට අවශ්‍ය ජලය සැපයීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රජය ලබා දී ඇති රුපියල් මිලියන 2000ක මුදල මෙම දෙසැම්බර් 31 දිනට පෙර සම්පූර්ණයෙන් වියදම් කරමින් එම සියලු වාර්මාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් විශේෂ ක්‍රියාන්විතයක් දියත් කරන බවද ජනාධිපති පැවසීය.
ජනරැලිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් මෙසේද පැවසීය.‍ 
“පසුගිය සැප්තැම්බර් 21වනදා මේ රටේ ජනතාව විශාල හැරවුමක් සහිත දේශපාලන තීන්දුවක් ගත්තා. පවුල් සහ පරම්පරා කිහිපයක් අත තිබූ බලය පොදුජන ව්‍යාපාරයක් අතට මාරු වුණා. නොවැම්බර් 14 වනදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එම ගමන තවත් ශක්තිමත් වුණා.
එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නා.  මේ රටේ සාතිශය බහුතර ජනතාවක් ජාතික ජන බලවේගයේ අප කෙරෙහි විශ්වාස තබා අපට ඡන්දය ලබා දී තිබෙනවා. මේ රටේ ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ ඇයි? හොරු ඇල්ලීම, ආර්ථිකය ගොඩනැඟීම, රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු  කිරීම, අධ්‍යාපන, සෞඛ්‍යය, ප්‍රවාහන වැනි ක්ෂේත්‍ර දියුණු කිරීම  සහ ලෝකය ඉදිරියේ කළු රටක් බවට පත්ව තිබූ අපේ රට ලෝකයේ පිළිගත් රාජ්‍යයන් සමග ශක්තිමත් සබඳතා තිබෙන දිදුලන රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් ජනතාව අපිට ඡන්දය ලබා දුන්නා.
එම ජනතාව තැබූ බලාපොරොත්තු සහ අපේක්ෂා ජාතික ජන බලවේගයේ අපි මේ වන විට ඉටු කරමින් සිටිනවා. ඒ වගේම අනිවාර්යයෙන් ඒවා ඉටු කරනවා. ඒ පිළිබඳ  කිසිදු සැකයක් තබාගත යුතු නැහැ. ඒ නිසා අපට ඡන්දය දුන් අය සතුටින්, බලාපොරොත්තුවෙන් සහ විශ්වාසයෙන් සිටිනවා. එහෙත් පැරදුණ අය අඬනවා. ඔවුන් දිගුකලක් අපේ රට පාලනය කළා. ඔවුන් සිතුවා හැමදාම මෙම බලය ඔවුන් අත හුවමාරු වෙයි කියලා. එහෙත් පළමු වතාවට මෙම වෙනස සිදු වුණා. ඔවුන් සිය ජීවිත කාලයේදී අපේක්ෂා නොකරන ලද දේශපාලනයක් අද ඔවුන්ට උරුම වී තිබෙනවා.
ඒ නිසා තවදුරටත් ලංකාවේ අනාගතය සහ ජනතාවගේ අපේක්ෂා මුළුමනින්ම පොදි බැඳී තිබෙන්නේ ජාතික ජන බලවේගය සමගයි. අපි එය පියවරින් පියවර ඉටු කරනවා. අපි මේ රට හදන්න ඕනෑ. ඕනෑම රටක් හදනවා නම් වැදගත්ම සාධකය වන්නේ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කිරිමයි.  ගෙවී ගිය මාස හයක් වැනි කෙටි කාලය අපි සැලකිය යුතු මට්ටමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට සමත් වී තිබෙනවා. එහි සලකුණු අද ජනතාගේ ඇස් ඉදිරිපිට පෙනෙන්න තිබෙනවා.
අපි රාජ්‍ය ආදායම් උපයනවා. ඒ මුදල් සියල්ල මේ රට ගොඩනැඟීමටත් රටේජනතාවට ලබා දීමටත් කටයුතු කරනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අපි කෝටි 33,000ක් වෙන් කර තිබෙනවා. රටවල් ගොඩනැඟිය යුත්තේ එලෙසයි. රට ගොඩනැඟීමට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය වෙනවා. අපි ඒ වෙනුවෙන් පියවර තබා තිබෙනවා.
ඒ වගේම තෝරාගත් ක්ෂේත්‍ර ගොඩනැඟීමට කටයුතු  කරමින් සිටිනවා. එහි වැදගත් ස්ථානයක් සංචාරක කර්මාන්තයට හිමිවන අතර  ලංකා ඉතිහාසයේ මෙතෙක් සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණි වසර බවට 2025 වසර පත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි සංචාරක ආකර්ෂණීය ගමනාන්ත ලෙස මෙම ප්‍රදේශ වැඩිදියුණු කළ යුතුයි.
අපේ රටේ පළමු රාජධානිය අනුරාධපුරයයි. පළමු වැව බසවක්කුලම වැවයි. මෙහි විශ්මිත නගර නිර්මාණය සහ පෞඪඉතිහාසය ඉතා සුවිශේෂයි. එහෙත් අපට තවමත් අනුරාධපුරය ශක්තිමත් සංචාරක ගමනාන්තයක් බවට පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා අපි මේ අනුරාධපුරය යළි පැවති අනුරාධපුරය ලෙස ගොඩනඟනවා. අපි තවත් නගර 04ක් තෝරගෙන තිබෙනවා. අනුරාධපුර, යාපනය, ත්‍රිකුණාමලය සහ ගාල්ල යන නගරවල තිබෙන විශේෂත්වය මත එම නගර ගොඩනඟනවා. අනුරාධපුරයට ඇතුළු වන විට පැරණි ශිෂ්ටාචාරය සහ පැරණි රාජධානිය ඉස්මතු විය යුතුයි. ඒ වෙනුවෙන් අපි අනුරාධපුරයට නව නගර නිර්මාණ සැලැස්මක් හදනවා. එහි විශාල වැඩකොටසක් මේ වන විට අවසන් කර තිබෙන අතර ඉන්දියානු අග්‍රාමාතවරයා මෙරටට පැමිණි අවස්ථාවේ එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉන්දියානු රජය ආධාරයක් ලෙස මුළු මුදලම ලබාදීමට එකඟ වී තිබෙනවා.
ඒ අයුරින්ම යාපනය සහ ත්‍රිකුණාමලය ඊට ආවේණික සංස්කෘතින් සමග ගොඩනැඟිය හැකියි. යාපහුවේ අපට ඉතාමත් ආවේණික උරුමයන් තිබෙනවා. එහෙත් සංචාරකයන්ගේ පැමිණීමක් නැහැ. ඒ නිසා සංචාරක කර්මාන්තයේ නව පිම්මක් වෙනුවෙන් යාලට, ආරුගම්බේට සහ ඇල්ලට පමණක් සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට පුරා ව්‍යප්ත කළ යුතුයි.
ඒ වගේම කෘෂිකර්මාන්තයට අපි ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබෙනවා. කෘෂිකර්මාන්තයේ විශාල පරිවර්තනයක් අපි අපේක්ෂා කරනවා. මේ අනුරාධපුර ග්‍රාමීය ජනතාවගේ ප්‍රධානම ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. අපේ කෘෂිකර්ම ඇමතිවරයාත්, වාරිමාර්ග අමාත්‍යවරයාත් දෙදෙනාම මේ අනුරාධපුරයේ අයයි. කෘෂිකර්මාන්තය හදන්නේ මේ අනුරාධපුරයෙන් බව මම ප්‍රකාශ කරනවා.
කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් අපි මේ වන විට පියවර රැසක් ගෙන තිබෙනවා. බිත්තර වී ඇතුළු බීජවල ඉහළ යාම මේ ගොවි ජනතාවට දරා ගන්න බැහැ. මිල සාධාරණ නැහැ. ඒ නිසා අපි මහඉලුප්පල්ලම ගොවිපොළ ඇතුළු බීජ පර්යේෂණආයතන දියුණු කර ගොවිජනතාවට සාධාරණ මිලකට බිත්තර වී ලබාදීම සඳහා සැලසුම් සකස් කරනවා. ඒ වගේම රුපියල් 15,000ට තිබු පොහොර සහනාධාරය 25,000දක්වා ඉහළ නැංවීමට කටයුතු කළා. මේ සහනාධාරය දිනක් ප්‍රමාද වුවහොත් අඬන කට්ටිය ඉකි ගහ ගහ අඩනවා. මුදල්වල කිසිදු ගැටලුවක් නැහැ. මේ යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් අපි මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙනවා.  එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සකස් කර දීමට අසමත් වීම නිසයි. මේ වෙනුවෙන් තමයි අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය වන්නේ.
ඒ වගේම අපේ රටේ කෘමිනාශක සහ වල්නාශක මාෆියාවක් තිබෙනවා. මෙම සමාගම් විශාල ලාභයක් ලබනවා. ඒ නිසා සිපෙට්කෝ ආයතනය යළි කෘමිනාශක සහ වල්නාශක වෙළෙඳපොළට තරගකාරී ලෙස මැදිහත් වෙනවා. දැනුත් කෘමිනාශක කිහිපයක් සහ වල්නාශක කිහිපයක් වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. වල්නාශක සහ කෘමිනාශකවල මිල සියයට පනහකින්වත් අඩු කිරීමට අපි සැලසුම් හදනවා.
ඒ වගේම අතිරේක බෝග වගා කරන අයට තිබු ප්‍රශ්නවලින් කොටසක් අපි දැනටමත් විසඳා තිබෙනවා. තමන්ගේ කුඹුරේ බඩඉරිඟු, සෝයා බෝංචි ආදී අතිරේක බෝග වගා කරනවා නම් ඒ සඳහාත් අපි රුපියල් 15,000ක සහනාධාරයක් ලබා දෙනවා. ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය ජලය සැපයීම වෙනුවෙන් වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කරනවා. රාජංගණය ව්‍යාපාරය, හුරුළුවැව ව්‍යාපාරය, නාච්චිදූව ව්‍යාපාරය වැනි පැරණි ව්‍යාපාර යටතේ තිබෙන ඇළවේලි විශාල වශයෙන් කැඩි ගොස් තිබෙනවා. ඇනිකට් කඩා වැටී තිබෙනවා. ජලය නාස්ති වන අතර කළමනාකරණය කර ගැනීමට අසමත් වී තිබෙනවා.
ඒ නිසා අපි පසුගියදා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී මෙම වාර්මාර්ග ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය මුදල් පිළිබඳ විමසුවා. එහිදී වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා මිලියන 3,000ක් අවශ්‍යයි කියලා. එම මිලියන 3000ම ලබා දෙන බව මම ප්‍රකාශ කළා. ඉන් පසුව මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා 3,000වැඩියි, 2,000ක් ප්‍රමාණවත් කියලා. ඒ අනුව අපි අවශ්‍ය මුදල් වෙන් කර තිබෙනවා.
මම අලුත් සහල් මංගල්‍යයට සහභාගී වූ අවස්ථාවේදීත් එහි සිටි ඉංජිනේරු මහත්වරුන් සමග අදහස් හුවමාරු කර ගත්තා. එහිදී අපට හැගුණා මේ වෙන් කළ මුදල්වලින් වැඩ කර ගැනීමට අපහසුවක් තිබෙනවා කියලා. ඒ නිසා අපි වෙනත් දිස්ත්‍රික්කවල සිටින අතිරේක නිලධාරින් කැඳවා විශේෂ මෙහයුමක් යටතේ දෙසැම්බර් 31 වන දිනට පෙර මෙම මුදල් වියදම් කර මෙම වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කිරිමට වැඩපිළිවෙළ සකස් කරනවා. අපි අවශ්‍ය මුදල් වෙන් කර තිබෙනවා. වෙනදා සිදු වුණේ වැඩ තිබුණත් සල්ලි නැති වීමයි.
ඒ වගේම අපි සියලු වී ගබඩා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළා. වී අලෙවි මණ්ඩලයේ පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක ගබඩා ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඒ වගේම සතොස මෙට්‍රික් ටොන් 80,000ක ගබඩා සූදානම් කළා. ඉන්පසුව වී මිලදී ගැනීමට රුපියල් කෝටි 500ක් වෙන් කළා.
අපි වී වලට තීරණාත්මක මිලක් ප්‍රකාශ කළා. ඒ මිලට වඩා අඩු නම් අපිට දෙන්න සියලු වී මිලදී ගැනීමට සුදානම් බව අප ප්‍රකාශ කළා. ඒ අනුව දිගු කාලයකට පසු ගොවි ජනතාවට වී සහ බඩඉරිඟු සඳහා සාධාරණ මිලක් ලැබුණා. නැවත කිසිදිනක ගොවියාගේ වී සහ නිෂ්පාදන අසාධාරණ මිලකට මිලදී ගැනීමට ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩුව මැදිහත් වී සාධාරණ මිලක් ස්ථාපිත කරනවා. මෙය මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනැංවීම වෙනුවෙන් අපි සිදු කරනවා.
අපි අද හොරකම, වංචාව සහ මහජන මුදල් විනාශ කිරීම නතර කර තිබෙනවා. දේශපාලකයන් ලෙස අපට ලැබී තිබෙන දේ අපි අත්හැර තිබෙන අතර ජනතාවට සියලු දේ ලබාදීමට කටයුතු කරනවා. මීට පෙර පැවති ආණ්ඩු කළේ සියල්ල ඔවුන් අතර බෙදා ගැනීමයි. පාර්ලිමේන්තුවත් ඔවුන් අතර බෙදාගෙන තිබුණා. මෙම යුගය අවසන් කිරිම වෙනුවෙන් ශක්තියක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔබ ලබා දිය යුතුයි. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආයතන ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කරන බවට කිසිදු සැකයක් නැහැ.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here