මෙතෙක් ඉතිහාසයේ සංවර්ධනය සඳහා වැඩිපුරම මුදල් වෙන් කළ අයවැයක් ගෙනාවා – මහින්ද ජයසිංහ

0
9


අයවැයෙන් ජනතාවට විශාල සහන ප්‍රමාණයක් ගෙනා බවත් සමාජයේ කිසිදු කණ්ඩායමක් අමතක නොකළ අයවැයක් මෙවර ඉදිරි පත් කළ බවත් මෙවර අයවැය මෙතෙක් ඉතිහාසයේ සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම් රුපියල් කෝටි එක්ලක්ෂ හතළිස් දාහක වැඩිපුරම වෙන් කළ අයවැයක් බවත් කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සඳහන් කරයි.
ඔහු මේ බව සදහන් කළේ, “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ පසුගිය 22 වනදා ගම්පහදී පැවති ජන රැලියට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ,
“අප්‍රේල් මාසෙ 21 දිනට පාස්කු ප්‍රහාරය සිදුවී මාස 72ක් ගත වෙනවා. ඒකෙන් මාස 67ක් ආණ්ඩු කළ අය අපෙන් අහනවා මාස පහට මොනවද කළේ කියලා. අවුරුදු 76ක් මාරුවෙන් මාරුවට රට විනාශ කළ විපක්ෂය අපෙන් මාස පහට කළේ මොනවද කියලා අහනවා. පසුගිය දිනවල ලයිට් බිල 20%ත් 30%ත් අතර අඩු වුණා. අපි ගන්න කොට පෙට්‍රල් ලීටරය මිල රු: 332/-යි. අද 299/-යි. රුපියල් 33/-කින් පෙට්‍රල් මිල අඩු වෙලා තිබෙනවා. ඩීසල් ලීටරය රු:321/-යි. දැන් රු:286/-යි. රු:35/-කින් ඩීසල් මිල අඩුවෙලා. ගිය අවුරුද්දේ ළුෑණු කිලෝ එකක් රු:480/-යි. දැන් රු: 160/-යි. අල, පරිප්පු, බිත්තර, කුකුල් මස් ටික සෑම භාණ්ඩයකම මිල සැලකිය යුතු මට්ටමකින් අඩුවෙලා තිබෙනවා. වැඩි වුණා නම් කතා කරනවා, හැබැයි අඩු වුණු ඒවා ගැන කතා කරන්නේ නැහැ. අයවැයෙන් ජනතාවට විශාල සහන ප්‍රමාණයක් ගෙනාවා. සමාජයේ කිසිදු කණ්ඩායමක් අමතක නොකළ අයවැයක්. මෙතෙක් ඉතිහාසයේ සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම් රුපියල් කෝටි එක්ලක්ෂ හතළිස් දාහක වැඩිපුරම වෙන් කළ අයවැයක්.
පසුගිය දෙසැම්බර් 10 සම්බන්ධීකරණ කමිටුවේ වැඩ ආරම්භ කළේ. දෙසැම්බර් 11 අනුකමිටු 13ක් අපි හැදුවා. ආපදා කළමනාකරණ, කෘෂිකර්ම, කර්මාන්ත, සංචාරක, පරිසර, ධීවර, සෞඛ්‍යය, අධ්‍යාපනය, කලා, සංස්කෘතික, ක්‍රීඩා සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වෙන ආකාරයෙන් මේ අනු කමිටු හැදුවා. අපේ මැති ඇමතිවරුන් ඒවාට මූලිකත්වය දරනවා. පෙබරවාරි 25 අපේ දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන ඔයවල් තුන ඌරුවල් ඔය, ගී ඇලි ඔය, අත්තනගලු ඔය, ඒවායේ තිබෙන බාධක ඉවත් කරන්න පටන් ගත්තා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයට ගං වතුරක් එනවා. අපි එයට තාවකාලික පිළියමක් යොදා ගන්න ඕනෑ. අපි කතා කළා පළාත් සංවර්ධන අධිකාරියට, පී.ආර්.ඩී. එකට, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට, වාරිමාර්ග දෙපාර්දෙමේන්තුවට. මේ ආයතන එකතු කර සැලැස්මක් හැදුවා. පෙබරවාරි 25 ආරම්භ කළ ඒ සැලැස්ම මැයි මාසය දක්වා ඉදිරියට යමින් තිබෙනවා.
කරන්න බැහැයි කියපු වැඩ අපි ආරම්භ කළා. කෘෂිකර්ම අනුකමිටුවෙන් අප්‍රේල් 02වැනි දා අපේ නිලධාරීන එක්ක එල්.ආර්.සී. එක සතු ඉඩම් ගණනාවක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. වල්බිහි වුණු අක්කර සියදහස් ගණනක් ඉඩම් තිබෙනවා. එම ඉඩම් වගා කරන්න අපි සැලසුම් හැදුවා. මේ අවස්ථාවේ මැතිවරණය නිසා අනුකමිටු කැඳවන්න නොහැකි නිසා මැයි 06 වැනිදා පසුවෙන තෙක් කල් දමන්න සිදුවෙලා. පසුගිය පළවැනිදා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කැඳවන්න ගත්තා. වාරි මාර්ග ප්‍රතිසංස්කරණ සඳහා වෙන්කර තිබෙන කෝටි 25ක මුදල වියදම් කරන්න අපට නිලධාරීන් නැහැ. අපට වාහන නැහැ. වැඩ ටික කරන්න මැනගන්න, ඇස්තමේන්තු කර ගන්න අවශ්‍ය කරන පහසුකම් ටික නැහැ. පසුගිය කාලයේ මේ රාජ්‍ය ආයතනවලට ඇති තරම් පිරෙව්වා. නමුත් අත්‍යවශ තනතුරුවලට අවශ්‍ය නිලධාරීන් බඳවා ගත්තේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපට අවශ්‍ය වේගයෙන් කටයුතු කරගෙන යාමේ බැරි තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
අපි මොනවද කළේ අහන අයට කියනවා, ජාතික වශයෙන් කරපු වැඩ ගොඩක් තිබෙනවා, දිස්ත්‍රික්කයේ කරමින් තිබෙන වැඩ ගොඩකුත් තිබෙනවා. තව මාස පහක් තිබෙනවා. ඒ කාලය ගත වෙන විට පාර්ලිමේන්තු නෙවෙයි, ප්‍රාදේශීය සභා ඡන්දෙකටවත් තරග කරන්න ඉදිරිපත් වෙන්න නොහැකි තැනකට ඔය විපක්ෂය ඇදවැටෙනවා. ස.ජ.බෙ. කිව්ව බොරුවක් තමයි, ජා ඇල වැලිගම්පිටියේ තිබෙන ත්‍රිපෝෂ කම්හල වහන්න යනවා කියලා. අපි ඒ කම්හල වහන්න නොවෙයි, මේ අවුරුද්දේ ත්‍රිපෝෂ කම්හලේ අපේක්ෂිත ආදායම කෝටි සියයක් (බිලියන 1ක්) බවට පත්කර තිබෙනවා.
අපට පළ පුරුද්ද නැහැයි කිව්වා. හැබැයි මාස පහක් ඇතුළත ආර්ථිකය ස්ථාවර කරලා, මේ රට නිවැරදි දිසාවට ගෙන යමින් තිබෙනවා. සංචාරකයන් එන්නේ නැහැ කිව්වා. ගෙවුනු මාස තුන ඇතුළත ලක්ෂ හත ඉක්ම වූ සංචාරකයන් මේ රටට ඇවිත් තිබෙනවා. ඩොලර් කෝටි 120කට වැඩි ආදායමක් ලැබී තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19යි. කොට්ඨාස 417යි. ඒ සෑම ආයතනයක්ම මැයි 06 දා ඉහළින්ම ජයග්‍රහණය කර පිළිතුරු දෙනවා. අපිට කිසිදු අභියෝගයක් නැහැ.
අදටත් මේ සභාවල විශාල වැඩ කොටසක් සිදුවෙමින් තිබෙනවා. ජා ඇල ප්‍රාදේශීය සභාවේ දිරාපු ගොඩනැගිල්ලකට ලක්ෂ 320ක් වියදම් කරමින් තිබෙනවා. ගම්පහ නගර සභාවේ තිබෙන කැබ් රථයක් නීත්‍යානුකූලව ඉල්ලා ගත්තා. මම ඉල්ල ගන්නකොට ඒ කැබ් රථය කිලෝ මීටර් හාරලක්ෂ විසිපන්දහසක් පැදලා. ඒකෙ ධාවන සටහන් මම ඉල්ලුවා. අද වනවිට මාස 02යි දවස් 05යි. අද වෙනතුරු ධාවන සටහන් ලැබුණේ නැහැ. මේක තමයි ප්‍රාදේශීය සභාවල තත්වය. වත්තල ප්‍රාදේශීය සභාවේ අක්කර 3.7ක් රුපියල් 3700/-කට බදු දී තිබෙනවා. අක්කරයකට බද්ද රුපියල් 87/-යි. වංචාවෙන් දූෂණයෙන් පිරුණු මේ පළාත් පාලන ආයතන ලබන මැයි 06 මාලිමාවට ලබා දීලා මහ ආණ්ඩුව වගේම ප්‍රාදේශීය සභා හදලා ඉදිරි වසර තුළ මේ ආයතන 19ම කාර්යක්ෂම, අදූෂිත, සභාවන් බවට පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් ගමින් ගමට, නගරයෙන් නගරයට යන්න. ලබන 06 වැනිදා ඉහළම ජයග්‍රහණයක් ලබන්න වැඩ කරන්න හැම දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here