මුහුණේ සහ සමේ පෙනුම අවලස්සන කරවන මේ වැරදි දේවල් ඔබත් කරනවද?

0
11


නිරෝගී සම ආරම්භ වන්නේ මූලිකවම පිරිසිදුකමත් එක්කයි. ඒ වගේම අපි කොච්චර ලස්සනට ඉන්න උත්සහ කළත් අපේ අතින් නොදැනුවත්වම සිද්ධ වෙන පුංචි පුංචි වැරදි නිසා දීර්ඝකාලීනව අහිතකර ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. ඇත්තටම තරුණියකට උපතින් ලැබී තිබෙන ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කරගනිමින් පවත්වාගන්න​ව කියන්නේ අද කාලේ විවිධ පාරිසරික තත්ත්ව සහ ආහාර එක්ක තරමක අභියෝගයක්. වර්තමානයේ විවිධ ක්‍රම මගින්, අධික මිල මුදල් වැය කරමින් සම පැහැපත් කරගන්නා තරුණියන් බොහෝමයක් ඉන්නවා. එහෙම වුණත් ඒ සියලු ක්‍රම තාවකාලිකයි. වඩාත් වැදගත් වන්නේ තමන්ගේ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කරගැනීමයි. ඒ සඳහා ඇතැම් විට අප සිදුකරන වැරදි පුරුදු අත්හැරීම කියන්නේ වැදගත් සාධකයක්. අපි බලමු අද අපේ අතින් බහුලවම සිද්ධ වෙන ඒ වගේ වැරදි මොන​වද කියලා.

 

1. කුරුළෑ මිරිකීම

කුරුළෑ ඇතිවීම බොහෝ විට අප බලාපොරොත්තු වනවාට වඩා පිටතින් නොව සමට යටින් තුවාලයක් ඇති කරවන දෙයක්. ඒ නිසා කිසිම වෙලාවක ඒවා මිරිකන්න යන්නෙපා. බොහෝ තරුණියන් තමන්ගේ මුහුණේ ඇති වන කුරුළෑ නියපොතුවලින් කැඩීම සිදුකළත් එය නොකළ යුත්තක්. එසේ කුරුළෑ කැඩීමෙන් ඇතිවන කැළැල ස්වභාවිකව මැකෙන්න අවම වශයෙන් මාස 07ක් පමණ ගත වනවා. ඒ වගේම 100%ක්ම කැළැල මැකෙන්න යන කාල සීමාව එක් අයකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වනවා. කුරුළෑවක් මතුවූ තැනක ඇතිවන කුඩා සලකුණක් වුවත් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට කල්ගතවන අතර ඒ සඳහා ක්ෂණික ප්‍රතිකාර නැහැ. ඔබට අත්‍යාවශ්‍යම අවස්ථාවකදී නම් කුරුළෑ මිරිකීම වෙනුවට කුරුළෑ හෝ බ්ලැක් හෙඩ් වලට වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශාල, වේදනාකාරී, ගෙඩි වැනි කුරුළෑ සඳහා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්න.

 

2. තුවාය වැරදිය​ට භාවිතා කිරීම

බොහෝ කාන්තාවන් සිරුර සේදීමෙන් පසු සම ඇදෙනසුලු අයුරින් තුවායෙන් පිසදැමීම සිදු කරනු ලබනවා. ඒක ඔබ අතින් නොදැනුවත්වම වෙන වැරදි පුරුද්දක්. තුවායෙන් තම සම පිසදැමීමේදී ඉතාමත් සංයමයෙන් යුක්තව එය සිදු කිරීමට වගබලා ගන්න. උණු වතුර භාවිතය ද හැකිතාක් දුරට අවම කරගත යුතුයි. දැඩි රස්නයෙන් යුක්තව, සම මතට උණු ජලය වැටීමෙන් වගේ​ම දැඩි අව් රශ්මියට සම නිරාවරණය වීමෙන් සම දුර්වර්ණ වීම සිදුවෙනවා. මේ තත්ත්ව​ය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තරමක කාලයක් ගතවීම සිදුවන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්.

 

3. ඔබේ මුහුණ අධික ලෙස සේදීම

විශේෂයෙන් ඔබේ සම තෙල් සහිත සමකට නැඹුරු නම්, ඔබේ සමේ නිපදවෙන ස්වාභාවික තෙල් ඉවත් කිරීම සඳහා දිනකට දෙවරකටත් වඩා පිරිසිදු කළ යුතු‍යි කියලා ඔබ හිතන් ඉන්නවා ඇති. නමුත් ඕනෑවට වඩා පිරිසිදු කිරීම ඇත්ත වශයෙන්ම තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට හේතු විය හැකියි. සමට විජලනය වූ බවක් දැනුනම නැතිවූ දේ ලබා ගැනීම සඳහා එය වැඩි තෙල් ප්‍රමාණයක් නිපදවන්න පටන් ගන්නවා. තෙල් නිෂ්පාදනයේ මෙම වැඩිවීම නිසා සම තෙල් පැහැති දීප්තියකට හැරවෙනවා. වියළි සමක් ඇති අයටද මෙය එසේම සිද්ධ වෙනවා. මේ නිසා ඕනෑවට වඩා පිරිසිදු කිරීමෙන් මුහුණේ සමට විජලනය ඇති වෙන්න පුළුවන් කියන්නේ ඒකයි.

 

4. මුහුණ සෝදා නොගෙන නින්දට යාම

දවස පුරා දීර්ඝ කාලයක් වැඩ කිරීමෙන් හෝ දීර්ඝ රාත්‍රීන් වල රාජකාරී කිරීමෙන් පස්සේ මේ සඳහා සැබවින්ම ඔබව පෙළෙඹෙනවා ඇති. නමුත් විශේෂයෙන් ඔබ මේක් අප් කරනවා නම් ඇඳට යාමට පෙර ඔබේ මුහුණ පිරිසිදු නොකිරීම මුහුණේ සම මත බැක්ටීරියා ඉපදීමට හේතු වෙන්න පුළුවන් . ඒ නිසා ඔබේ සම සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම​ට හා දීප්තිමත් පෙනුමක් ලබා ගැනීම සඳහා දිනපතා රාත්‍රියට දවස පුරා ඔබේ සම මත ඇති වන අඳුරු සෛල, තෙල් සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට සිහි‍යේ තබා ගන්න.

 

5. සමට නොගැලපෙන ආලේපණ වර්ග භාවිතය

තමන් සතුව තියෙන සමේ ස්වභාවය කොහොමද කියලා තේරුම් ගැනීම වැදගත් කරුණක්. තෙල් සහිත හෝ වියලි සමක් සහිත කෙනෙක් තෝරාගත යුත්තේ ඒ සමේ වර්ගයට ගැලපෙන ලෙස සකස් කරපු ආලේපණ වර්ගයි. එහෙම නැති වුණොත් එයින් තවදුරටත් සමට හානි වීමකුයි සිදු වන්නේ. සම සුදු කරනවායැයි කියන ආලේපණ වර්ග මේ වනවිට ඉමහත් ජනප්‍රියත්වයක් ලබල තියනවා. නමුත් ඒ ​බොහොමයකින් ඉක්මන් පැහැපත් බවක් සමට ලැබුණත් දිගුකල් ගතවීමේදී සමට හානි වන්නට වැඩි ඉඩක් තියනවා. ඒ වගේම ඒ සමහර ආලේපණ ගැල්වීම නැවැත්තුවාට පස්සේ සම තිබුණාටත් වඩා අවපැහැගැන්විලා යන්න ඉඩ තියනවා. ඒ නිසා ආලේපණ මිලදී ගන්න කලින් ඒ ගැන හොඳ සොයාබැලීමක් කරලා, අන්තර්ජාලයේ එහෙම විමසුමක් දාලා බලලාම තීරණය කරන්න.

 

6. සමට අහිතකර ආහාර ගැනී​ම

 සිරුරේ අම්ල පිත්ත බව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුණොත් ආමාශයේ නිපදවන ඇසිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ආමාශයෙන් නිසි ලෙස ආහාර දිරවීම සිදුකරන්නේ නැහැ. ඇසිඩ් ප්‍රමාණය වැඩිවූ විට එය සමටත් බලපානවා. ඉන් සම මතුපිට ජීවත්වන හිතකර ජීවීන්ගේ පැවැත්මට බාධා ඇති කරනවා. එනිසා නිතර තක්කාලි, අච්චාරු වර්ග, ජාඩි ආදිය ආහාරයට නොගැනීම වගේම මිරිස් වැඩිපුර ආහාරයට යොදා ගැනීමත් හොඳ නැහැ. පොල් කිරි ආහාරයට එක්කර ගැනීම ඉතා ගුණදායකයි. එමගින් සිරුරේ උෂ්ණත්වය පාලනය වෙනවා. ඉන් සම මත සිටින හිතකර ජීවීන්ගේ පැවැත්මට හොඳ පරිසරයක් ගොඩනැ​ගෙනවා.

 

7. මේක් අප් බුරුසු සහ නිදන කොට්​ට පිරිසිදු නොකිරීම

ඔබ එදිනෙදා භාවිතා කරන මේක් අප් බුරුසු නිතිපතා පිරිසිදු කිරීම ඔබේ සමේ සෞඛ්‍යයට ඇදහිය නොහැකි තරම් වැදගත් දෙයක් වෙනවා. මොකද නිසි ලෙස පිරිසිදු නොකළ මේක් අප් බුරුසු මගින් සමට බරපතල හානියක් කළ හැකි බැක්ටීරියා සමූහයක් සමට රැගෙන එනවා. ඒ වගේම කුරුළෑ සහ සමේ ආසාදන ඇතිවීම වැළැක්වීම සඳහාත් මේක හොඳම ක්‍රමයක්. ඔබ කොපමණ වාර ගණනක් පිරිසිදු කළත් සෑම මාස හයකට වරක්ම සියලු බුරුසු මාරු කරන එකත් හොඳ පුරුද්දක්.

අනිත් කාරණය තමයි ඔබ දිනපතා හිස තබන නිදන කොට්ට පිරිසිදුව තබා ගැනීම. කොයි තරම් මුහුණ පිරිසිදුව තියා ගත්තත් වැඩක් නෑ මුහුණ තැවරෙන කොට්ටය කිලිටි එකක් නම්. ඒ නිසා අඩුම තරමින් දෙසතියකට වරක්වත් කොට්ට උර මාරු කරමින් පිරිසිදුව තබාගන්න.

 

තිනෙති නානායක්කා​ර

The post මුහුණේ සහ සමේ පෙනුම අවලස්සන කරවන මේ වැරදි දේවල් ඔබත් කරනවද? appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here