පහුගිය දවසක අපි කතා කළා ගෙදරදීම cleanup එකක් කරගන්න හැටි. ඒ ලිපිය මෙතනින් බලාගන්න පුළුවන්.
ගෙදරදීම ක්ලීන්අප් එකක් කරගන්නේ මෙහෙමයි!
අද මේ කතා කරන්න යන්නෙත් ඊට සම්බන්ධ මාතෘකාවක්. ක්ලීනප් තියා මොනම දේකටවත් ගෙදරින් එළියට බහින්න බැරි ඉතාම අවදානම් කාල සීමාවක්නේ අපි පසුකරමින් ඉන්නෙ. හැබැයි එහෙමයි කියල මුහුණට කෙරෙන්න ඕන සත්කාර අමතක කළොත් ආපහු කවදාහරි මාස්ක් එක ගලවල එළියට යන්න පුළුවන් දවසක ආඩම්බරෙන් එළියට බහින්න බැරිවේවි මුහුණ අවපැහැ ගැන්විලා, කුරුලෑ ලප කැළැල් වලින් පිරිලා තිබුණොත්. ඒ නිසා සැලෝන් එකකට යන්න බැරිවුණත් ගෙදර ඉඳගෙනම මුහුණට අවශ්‍ය සත්කාර ටික කරගන්න අවශ්‍යයි. අනික කොයි කාලෙ වුණත් අධික මිලක් ගෙවල සැලෝන් එකකට ගිහින් රසායනික ද්‍රව්‍ය අඩංගු කෘත්‍රීම නිෂ්පාදන මුහුණේ උලාගෙන එනවට වඩා හැම අතින්ම සෞඛ්‍යසම්පන්නයි මේ ගෙදරම හදාගන්න නිෂ්පාදන. මේ කතා කරන්න යන්නෙ මුහුණේ සම මත තියෙන කුඩා සිදුරු ඇතුළත රැඳිල තියෙන කුණු දුහුවිලි ඉවත් කරගන්න වගේම මැරුණු සම ඉවත් කරන භාවිතා කරන ස්ක්‍රබ් වර්ග ගෙදරදීම හදාගන්න හැටි.
1. කෝපි කුඩු ස්ක්‍රබ්
කෝපි කුඩු කියල කියන්නෙ අපිට ඕනම ගෙදරක පහසුවෙන්ම හොයාගන්න තියෙන ද්‍රව්‍යයක්. මේ කෝපි කුඩු යොදාගෙන මුහුණට ඉතාම සුදුසු ස්ක්‍රබ් එකක් හදාගන්න පුළුවන්. කෝපි වල අඩංගු කැෆේන් මඟින් මුහුණේ සම මත රුධිර සංසරණය වේගවත් කරල මුහුණට දීප්තිමත් බවක් සහ තරුණ පෙනුමක් ලබාදෙනවා. ඒ වගේම කෝපි වල අඩංගු ප්‍රතිඔක්සීකාරක ගුණය මඟින් හානිවූ සම නැවත යථාතත්ත්වයට පත්කෙරෙනවා. මේ ස්ක්රබ් එක හදාගන්නේ මෙන්න මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කෝපි කුඩු තේ හැඳි 3
- යෝගට් කෝප්ප භාගයක් (අධික වියලි සමක් ඇති කෙනෙකුටනම් මේ වෙනුවට කිරි හාවිතා කරන්න පුළුවන්)
මේ වර්ග දෙක එකට කලවම් කරල තරමක ඝණ මිශ්‍රණයක් සකස් කරගන්න. මේ මිශ්‍රණය මුහුණ මත ආලේප කරලා විනාඩි 8-10ත් අතර කාලයක් හොඳින් මසාජ් කරමින් ස්ක්‍රබ් කරගන්න. අවසානයේ සීතල වතුරෙන් සෝදා හරින්න. මේ ස්ක්රබ් එක සතියට දෙවතාවක් වගේ භාවිතා කළෝතින් ඉතාම හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
2. ඕට්ස් ස්ක්‍රබ්
ඕට්ස් කියන්නෙත් දැන් ඕනම ගෙදරක හොයාගන්න තියෙන දෙයක්. ඒ නැතත් ඕනම සුපිරි වෙළඳ සැලකින් පහසු මිලට ලබාගන්න පුළුවන්. ඕට්ස් වලත් ප්‍රතිඔක්සීකාරක අඩංගුයි. මේ ස්ක්රබ් එක වඩාත්ම සුදුසුයි සංවේදී සමක් සහිත කෙනෙකුට. සකස් කරගන්නේ මෙන්න මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- රෝල්ඩ් ඕට්ස් කෝප්ප භාගයක්
- ජලය හෝ කිරි
මේ සඳහා මිලදී ගන්න ඕන රෝල්ඩ් ඕට්ස් කියන වර්ගය. නමුත් රෝල්ඩ් ඕට්ස් හොයාගන්න අපහසුම කෙනෙකුට ඒ වෙනුවට සාමාන්‍ය ක්ෂණික ඕට්ස් හෙවත් instant ඕට්ස් භාවිතා කරන්නත් බැරි නැහැ. රෝල්ඩ් ඕට්ස් ගන්නවනම් මුලින්ම ඕට්ස් ටික බ්ලෙන්ඩර් එකකට දාලා කුඩු කරගන්න ඕන. ක්ෂණික ඕට්ස්නම් අතින් පොඩිකළත් පොඩිවෙන නිසා කුඩු කරන්න අවශ්‍ය නැහැ. කුඩුකරගත්ත ඕට්ස් වලට කිරි මිශ්‍ර කරල තලපයක් ආකාරයට සකස් කරගෙන මුහුණ මත ආලේප කරල මසාජ් කරන්නයි තියෙන්නෙ.
3. දුඹුරු සීනි ස්ක්‍රබ්
මේකත් හරිම පහසු ස්ක්‍රබ් එකක්. අවශ්‍ය වෙන්නෙ සීනි සහ පොල්තෙල්. දුඹුරු සීනි ගන්න පුළුවන්නම් වඩාත්ම හොඳයි. මේ මඟින් මුහුණ මත තියෙන අඳුරු ලප කැළැල් ඉවත් කරගන්න වගේම මුහුණට හොඳ තෙතමනයක් ලබාගන්නත් පුළුවන්. සීනි මේස හැඳි දෙකකට පිරිසිඳු පොල්තෙල් මේස හැන්දක් එකතු කරල මුහුණ මත ආලේප කරල විනාඩි පහක පමණ කාලයක් වියලෙන්න හරින්න. ඊළඟට ඒ මිශ්‍රණය ඇඟිලි තුඩු මතින් මුහුණ පුරා ආලේප කරමින් හොඳින් ස්ක්‍රබ් කරගන්න.
4. සහල් සහ බිත්තර ස්ක්‍රබ්
ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය දෙකක් යොදාගෙන හදාගන්න පුළුවන් මේ ස්ක්රබ් එක වඩාත්ම සුදුසුයි තෙල් සහිත සමක් ඇති කෙනෙකුට. ඒ වගේම මේ මඟින් හමේ පැහැය දීප්තිමත් කරගන්නත් පුළුවන්. සකස් කරගන්නේ මෙන්න මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- සහල් මේස හැඳි 2ක්
- බිත්තර සුදු මදයක්
මුලින්ම සහල් ටික බ්ලෙන්ඩර් එකකට දමාගෙන කුඩු කරගන්න අවශ්‍යයි. මේ කුඩු කරගත්ත සහල් වලට බිත්තර සුදු මදය එකතු කරල තලපයක් වනතුරු මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය මුහුණ මත අලේප කරල හොඳින් සම්බාහනය කරන්න. අවසානයේ මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
5. සහල් සහ කෝමාරිකා ස්ක්‍රබ්
මේකටත් අවශ්‍ය වෙන්නෙ බොහොම සරල අමුද්‍රව්‍ය කිහිපයක්. කලින් කියපු සහල් ස්ක්රබ් එකේ තිබුන තෙල් ගතිය ඉවත් කිරීම සහ පැහැපත් වීමට අමතරව මේ ස්ක්‍රබ් එකට එකතු කරන කෝමාරිකා මඟින් මුහුණේ තෙතමනය ආරක්ෂා කරන්නත්, ලප කැළැල් ඉවත් කරගන්නත් පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කුඩු කරගත් සහල් මේස හැඳි දෙකක්
- සූරාගත් කෝමාරිකා මදය
මේ වර්ග දෙක එකට මිශ්‍ර කරලා මුහුණ මත ආලේප කරලා හොඳි ස්ක්‍රබ් කරගන්නයි තියෙන්නෙ. අවසානයේ මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
6. ආමන්ඩ් සහ ග්‍රීන් ටී ස්ක්රබ්
ආමන්ඩ්නම් ලංකාවේ ටිකක් මිල අධික ද්‍රව්‍යයක්. හැබැයි මේ ස්ක්රබ් එක ඉඳලා හිටලා දවසක හරි භාවිතා කරන්න පුළුවන්නම් හොඳයි. ආමන්ඩ් මඟින් සම මෘදු කරනවා. ග්‍රීන් ටී වල ප්‍රතිඔක්සීකාරක අඩංගුයි. මේ එකතුව මුහුණට හරිම ගුණදායකයි. සකස් කරගන්න හරිම පහසුයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- ආමන්ඩ් ඇට 5ක්
- යෝගට් මේස හැන්දක්
- ග්‍රීන් ටී මේස හැන්දක්
මුලින්ම ආමන්ඩ් ඇට කුඩු ගතියට එනකල් බ්ලෙන්ඩ් කරගන්න අවශ්‍යයි. මේ කුඩු කරගත්ත ආමන්ඩ් ඇට වලට යෝගට් සහ ග්‍රීන් ටී එකතු කරලා සකස් කරගත්ත මිශ්‍රණය මුහුණේ ආලේප කරලා ස්ක්‍රබ් කරගන්නයි තියෙන්නෙ.
7. ලෙමන් යුෂ ස්ක්‍රබ්
ලෙමන් කියන්නෙත් සමට ඉතාම ගුණදායක දෙයක්. ලෙමන් වල අඩංගු විටමින් C සම මත ප්‍රතිඔක්සීකාරකයක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ලෙමන් වල තියෙන විෂබීජනාශක ගුණය නිසා මුහුණ මත තියෙන අනවශ්‍ය බැක්ටීරියා ඉවත් කරල පැහැපත් පෙනුමක් ලබාදෙන්න පුළුවන්. පහසුවෙන්ම මේ ස්ක්රබ් එක සකස් කරගන්නේ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- ලෙමන් යුෂ තේ හැඳි භාගයක්
- වතුර තේ හැඳි එකක්
- ලුණු කුඩු තේ හැඳි එකක්
මේ සියල්ල එකතු කරල සකස් කරගන්න මිශ්‍රණය මුහුණ මත අලේප කරල ස්ක්‍රබ් කරගන්න. අවසානයේ මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. හැබැයි මේ ස්ක්රබ් එක භාවිතා කරල එළිමහනේ ඇවිදින්න යනවනම් හිරු එළියෙන් ආරක්ෂා වෙන්න sunscreen එකක් ආලේප කරන්නත් අමතක කරන්න එපා.
The post මුහුණට සුදුසු ස්ක්‍රබ් වර්ග ගෙදරදීම හදාගන්න හැටි appeared first on Lifie.LK.
Saru FM Media