මුජිබර් රහුමන්ගේ වියරුව සහ බස් ගැමුණුගේ වියරුව – Saru News | සිංහල

0
3

ආසන්න සතියක පමණ කාලයක් තුළ පොදු ජනතාවගේ ජීවිත සම්බන්ධ අතිශය ප‍්‍රබල කරුණු දෙකක් සම්බන්ධයෙන් වියරු ප‍්‍රකාශ දෙකක් දැකගත හැකි විය. පළමු වැන්න පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධයෙන් පැවැත්වෙන මහාධිකරණ නඩු විභාගය පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන්ගෙන්ය. මේ සම්බන්ධ එක් නඩුවක් විභාග කරන තී‍්‍රපුද්ගල මහාධිකරණය ඇමති බංගලාවක රැස්වන කැලෑ අධිකරණයක් බවය. දෙවැන්න, මත්ද්‍රව්‍ය භාවිතා කර බස් ධාවනයේ යෙදෙන රියදුරන් සම්බන්ධයෙන් නීතියට අනුව කි‍්‍රයා කිරීමට එරෙහිව බස් ගැමුණු කළ උඩුබරුලෑමය. ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කර තිබුණේ රට පුරා මහා බස් වර්ජනයක් කරන බවය. මේ ප‍්‍රකාශ දෙකම එක හා සමාන ලේ පිපාසිත වියරු ප‍්‍රකාශයන්ය.

මුජිබර් රහුමාන් මන්තී‍්‍ර වරප‍්‍රසාදවලට මුවාවී පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයේ යටි පෙළ සඟවා තිබූ දේශපාලන අරමුණ කුමක්ද? අධිකරණය පිළිබඳව විකෘති වියරු අදහසක් ජනගත කිරීම හා විශේෂයෙන්ම ජාත්‍යන්තරයට දැන්වීමය. අදාළ නඩුව විශේෂිත ති‍්‍රපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ දිනපතා විභාග කිරීමට ගෙන තිබේ. එම නඩුව දැනට වසර පහකට වැඩි කාලයක් විභාග කෙරෙන්නක්ය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු නිසි බලයකින් යුක්ත ආයතනවල නිර්දේශ අනුව දිනපතා විභාග කිරීම ඇරඹීය. දිනපතා විභාග කිරීම ආරම්භ කර, මාස දෙකකට පමණ ආසන්නය. මේ නඩුව පැවරූ ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා අඛණ්ඩව විනිසුරු, නවරත්න මාරසිංහ විනිශ්චය කටයුතු සිදු කරමින් සිටී.

මෙහි සභාපති විනිසුරු, නවරත්න මාරසිංහ වන අතර සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්දන් අනෙක් විනිසුරුවරුන් දෙදෙනාය. නඩුව ආරම්භයේ සිට අනෙකුත් විනිසුරුවරුන් උසස්වීම් ලැබීම, විශ‍්‍රාම යාම, ස්ථාන මාරුවීම් වැනි හේතු නිසා වරින්වර වෙනස් විය. කොළඹ මහාධිකරණ ශාලා අංක: 01 සහ 02 හිදී එය විමර්ශනය කරමින් තිබූ අතර දිනපතා විභාග කිරීමට කොළඹ 07, බුලර්ස් පටුමගේ පිහිටි අධිකරණ ශාලාවකදී විමර්ශනය කරමින් පවතී. එම ගොඩනැගිල්ල පසුගිය ආණ්ඩුවල ඇමති බංගලාවක් විය. අවසන්වරට එය සනත් නිශාන්ත මන්තී‍්‍ර බංගලාව කරගෙන තිබිණි. එවැනි බංගලා පොදු මහජන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට ලබාදුන් ජනවරම අනුව මේ වන විට මහාධිකරණ ශාලාවක් බවට පත්කර තිබේ. එවැනි මහාධිකරණ ශාලා ගණනාවක් මෑතදී පිහිටුවීමට ද නියමිතය.

මෙන්න මේ අධිකරණ ශාලාව ඇමති බංගලාවක් බව මුජිබර් රහුමාන් පැවසීය. ඊට අමතරව කැලෑ උසාවියක් බවත් මාධ්‍යවේදීන්ට හෝ විත්තිකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට හෝ හිතවතුන්ට විවෘත නොකර හොර රහසේ නඩු විභාග කරන බවත් ආදී වශයෙන් අධිකරණයට අපහාස කිරීම පමණක් නොව විභායකට ඍජුවම බලපෑම් කිරීමට ද මුජිබර් රහුමාන් කි‍්‍රයාකර තිබිණි. මෙම අධිකරණය ඉදිරියේ විභාග කෙරෙමින් තිබෙන්නේ 2019 අපේ‍්‍රල් 21 වැනි දා එල්ල කළ ම්ලේච්ඡු දේශපාලන කුමන්ත‍්‍රණ ප‍්‍රහාරය පිළිබඳවය. එයින් 268 දෙනෙකු මිය ගොස් තවත් හයසියයකට ආසන්න  පිරිසක් ආබාධිත බවට පත්විය.

මෙතරම් ම්ලේච්ඡු දේශපාලන කුමන්ත‍්‍රණ ප‍්‍රහාරය සම්බන්ධ එක් නඩුවක් පමණක් මෙම තී‍්‍ර පුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග කරමින් පවතී. විවිධ නඩු නිමිති වෙනත් අධිකරණවලද විභාග කෙරෙමින් පවතී. ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් මේ සම්බන්ධ විවිධ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තා විමර්ශනය කෙරෙමින්ද පවතී. ඒ අතර මුජිබර් රහුමාන් වින්දිතයන් සම්බන්ධයෙන් පෙනී සිටී. මේ දවටනයට මුවාවී වියරු ඝාතනයන්ගේ රැුකවරණය වෙනුවෙන් මන්තී‍්‍ර වරප‍්‍රසාද යෙදවීය. දිනපතා නඩුව විභාග කිරීම ඇරඹීමත් සමග තිබෙන පරිස්සමින් විසඳා ගත යුතු තාක්ෂණික කරුණු මත පිහිටා මුජිබර් රහුමාන්ගේ වියරු ප‍්‍රකාශය මුදා හැරීය. දේශපාලන වියරුව වෙනුවෙන් බිලිගත් ජීවිත සම්බන්ධයෙන් අතීතයට අවුරුදු හතක් සම්පූර්ණ වීමට ආසන්නව තිබියදී වියරු ඝාතකයන්ගේ හ`ඩ වෙනත් කටල්වලින්ද පිටවීමට පටන්ගෙන තිබේ.

ඊළඟට බස් ගැමුණුගේ වියරුව කුමක්දැයි බලමු. විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කර මගී බස් රථ ධාවනය කරන රියදුරන් පිළිබඳව කරුණු තහවුරුවී  දශකයකට වැඩිය. එහෙත් කිසිදු ප‍්‍රවාහන ඇමතියෙකුගේ ආණ්ඩු ඒ පිළිබඳව පයිසයකට ගණන් ගත්තේ නැත. වත්මන් ප‍්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ මඟ පෙන්වීම යටතේ බස් රියදුරන්ගේ මත් ද්‍රව්‍ය භාවිතය පරීක්ෂා කිරීමේ ක්ෂණික පරීක්ෂණ දියත් කෙරිණි. තත්වයේ බරපතළ බව තේරුම් ගෙන ඉදිරි කි‍්‍රයාමාර්ග ගැණිනි. බස් රථ ධාවනයේදී මත් ද්‍රව්‍ය භාවිතා කර සිටින රියදුරන් සේවයේ නොයොදෙන ලෙස ඇමතිවරයා බස් රථ හිමියන්ට දැන්වීය. එය නොතකා කි‍්‍රයා කරන බස් රථ හිමියන්ගේ බලපත‍්‍ර අහෝසි කරන බවට ඇනතුරු ඇඟවීය.

බස් ගැමුණුගේ වියරුව මුදාහරින්නේ මෙන්න මෙතැනදීය. මගී ජීවිත ආරක්ෂා කරමින් විනය ගරුක ආරක්ෂාකාරී වගකීමකින් යුක්ත මගී ප‍්‍රවාහන සේවයක් වෙනුවෙන් බස් රථ හිමියන් මෙහෙයවීම වෙනුවට ගැමුණු විජේරත්නගේ වියරුව මුදා හැරීය. ඒ ඇමතිවරයාට ආණ්ඩුවට පාඩමක් උගන්වන්න, “රට පුරා බස් වර්ජනයක් කරන බවට” වහසි බස් දෙඩීමය. එයින් කියවෙන්නේ කුමක්ද? බස් රථයේ ගමන් කරන මගීන්, මහපාරේ ගමන් කරන මගීන් සහ දේපළ වෙනත් රථ වාහනවල ගමන් කරන මිනිසුන්ගේ ජීවිත බිලි ගැනීමට ඉඩදිය යුතු බවය. ඕනෑම මත් ද්‍රව්‍යයක් භාවිතා කර, බස් රියදුරු අසුනේ හිඳ ගැනීමට ඕනෑම මදාවියෙකුට ඉඩදිය යුතු බවය.

බස් ගැමුණුගේ මේ වියරු ප‍්‍රකාශය පිටුපස සැඟවුණු තවත් අභිරහසක්ද තිබේ. ඇතැම් බස් රථ පිටුපස තිබෙන්නේ පාතාල සල්ලිය. කළු සල්ලිය. මෙන්න මේ ත‍්‍රාඩ පාතාලයන්ගේ සල්ලි යෙදවූ බස් ව්‍යාපාරය රන් කරන්නේද එවැනිම රියදුරන් සහ සහායකයන් යොදවමින්ය. ඒ ත‍්‍රාඩයන් ආරක්ෂා කිරීමේ උවමනාවද බස් ගැමුණුගේ මේ උඩුබුරුලෑම පිටුපස සැඟවී තිබේ. මේ ත‍්‍රාඩ පාදඩයන්ට නිදහස්, අවහිරයකින් තොරව මිනිස් ජීවිත බිලි ගනිමින් කි‍්‍රයා කිරීමට ඉඩදිය යුතු යැයි බස් ගැමුණු මරහ`ඩ තලයි.

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවාවී වියරුව මුදා හැරී සාමූහික ඝාතකයන් ආරක්ෂා කර ගැනීමටය. බස් ගැමුණු උඩුබුරලන්නේ මිනිස් ජීවිත ඉවක් බවක් නැතිව බිලි ගැනීමට ඉඩ දෙන ලෙසටය. මේ රට හෙලා තිබෙන වියරු විකෘතියේ තරම මේ ආකාරවලින් මහජනතාව හමුවේ නිරාවරණය වෙමින් පවතී. මේ ලෙස හෙළිවන කරුණු පිළිබඳව සිහිබුද්ධියෙන් තේරුම් ගැනීම සහ පොදු මිනිස් ජීවිත ආරක්ෂා කර ගනිමින් “ලස්සන ජීවිතයක්” උදාකර ගැනීමට පෙළඹීමේ කාර්යභාරය ජනතාව වෙත පවතී. මේ වියරු කෙඳිරිලි පරාජය කිරීම ආණ්ඩුවේ, රජයේ හෝ පමණක් කාර්යභාරයක් නොවේ. ඒ වෙනුවෙන් අඛණ්ඩවම අරගල කිරීමේ කාර්යභාරය ජනතාව වෙත පවතී. පුනරුද යුගයේ පුරවැසි වගකීම එය වන්නේය.

මුජිබර් රහුමාන්ලාගේ වෙස් මුහුණෙන් එන්නේත් බස් ගැමුණුලාගේ වෙස් මුහුණෙන් එන්නේත්, ජාතිය සහ ආගම බේරා ගැනීමේ වෙස් මුහුණුවලින් එන්නේත් වියරු ලේ පිපාසිත දේශපාලන පිශාචයන් බව තේරුම් ගෙන ඔවුන් රොත්තම එකට තබා සදහටම පරාජය කිරීමේ කාර්යභාරය ජනතාව වෙත පැවරී තිබේ.

නන්දිමිත්‍රගේ සතියේ සටහන

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here