මැයි 06දා සිදුවන්නේ රටේ යෝධ සංවර්ධන යාන්ත්‍රණය සම්පූර්ණ කර ගැනීමක් – වෛද්‍ය නලින්ද ජයතිස්ස

0
5


මැයි 06දා සිදුවන්නේ රටේ යෝධ සංවර්ධන යාන්ත්‍රණය සම්පූර්ණ කර ගැනීමක්  යැයි කළුතර දිස්ත්‍රික් නායක, ආණ්ඩු පක්ෂයේ සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ, පසුගිය 27 වනදා බේරුවලදී පැවති පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ “ජය නියතයි – ගම අපටයි” ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් නායක, ආණ්ඩු පක්ෂයේ සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස,
“අපි ඉන්නේ ඉතාම ජයග්‍රාහී මොහොතකයි. ජනාධිපතිවරණය දිනුවා. මහමැතිවරණය ඊටත් ඉහළින් දිනුවා. පළාත් පාලන ආයතනත් මාලිමාව ඉහළින්ම ජයග්‍රහණය කරනවා; ඒක ඉර හඳ වගේ විශ්වාසයි. තමන්ගේ පරාජය දැකලා විපක්ෂයේ අය දැන් විකාරයෙන් කියවන්න පටන්ගෙන තිබෙනවා.  රාජිත කියනවා රනිල්  දෙසැම්බර්වල ජනාධිපති පුටුවෙ වාඩිකර වනවාලු, කබීර් කියනවා දෙසැම්බර්වල සජිත් ජනාධිපති පුටුවෙ වාඩිකරවනවාලු. වාඩිකරන්න පුළුවන් මොරටුවෙන් ගත්ත පුටු දෙකක.
මේ රටේ ජනතාව අනුර කුමාර දිසානායක සහෝදරයා ගැනත් මේ ආණ්ඩුව ගැනත් පෙරටත් වඩා දැඩි විශ්වාසයක් තියල තියෙනවා. ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයදී මාලිමාවට ඡන්දය නොදීපු අය අනිවර්යෙන්ම මෙවර මාලිමාවට ඡන්දය දෙනවා. ඇයි පසුගිය මහ මැතිවරණයේදී අපට ඡන්දය නොදීපු මේ ගම්වල අපේ අම්ම තාත්ත, මෙවර ඡන්දය මාලිමාවට දෙනවාමයි. විපක්ෂයේ අය එදා මොනවාද කිවුවේ. දැන් මොකද වෙලා තියෙන්නේ. අපි ආවොත් දානයක් දෙන්න බැහැ. බුද්ධාගම ඉවරයි. පෙරහැරක් කරගන්න බැහැ. කෝ දැන් ඒ අජිත් පෙරේලලා. ටොන් පච කෙළ කෙළා ඔය ගෙදර පොඩි රැස්වීමක් කරගෙන ඉන්නවා. ඒ දේශපාලනය මැයි 06දා අවසන් කරනවා. කථා දෙකක් නැහැ. මේතරම් හොඳ ආණ්ඩුවක්, මේ තරම් ජනතාවට සහන දෙන ආණ්ඩුවක්, ඉතිහාසයේ මහජන ආණ්ඩුවක් කිවුවහම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජන ආණ්ඩුවක්. ජනතාවට දෙන්න පුළුවන් හැමදේම දෙන ආණ්ඩුවක්. කළුතර දිස්ත්‍රික්කයේ මේ පළාත් පාලන ආයතන 17 ම අපි දිනනවා.
ඒ පළාත් පාලන 17 ම සම්බන්ධකර ගෙන ඉදිරි අවුරු 4 දී ලොකු වැඩසටහනක්. දිස්ත්‍රික්කයේ පසුගිය අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ නොකරපු සංවර්ධනයක් අපිට කරන්න තිබෙනවා. ඔන්න ඉතිහාසයේ පළවෙනි වතාවට කළුතරට එනවා මහ නගර සභාවක්. කළුතරට මහ නගර සභාව ගන්න මූලික වෙච්ච කෙනෙක් තමයි අද කළුතර කණ්ඩායම් නායකයා ලෙස තරග කරන අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ඒ. ගුණසේකර මහත්මයා. මහ නගර සභාවක් ගන්න කටයුතු කරපු අය. මහ නගර සභා එකක් ඇති දිස්ත්‍රික්කයට. අපට තියෙනව බේරුවල, පානදුර, හොරණ නගර සභාව. එක මහ නගර සභාවයි ඉතුරු නගර සභා තුනයි. ආරංචියි බේරුවලත් මහනගර සභාවක් කරනව කියල බය කරන්න එනවා. දැනට අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. කළුතර මහ නගර සභාව හැදුවහම ඒ ඇති දිස්ත්‍රිකයටම. ඊළඟට ප්‍රාදේශීය සභා 13 මේවායේ තිබෙන්නේ එක එක සංවර්ධන මට්ටම්. ඒ ටික දියුණු කරන්න අපිට විශාල වගකීමක් තියෙනවා. ඇයි? මේ ඡන්දය පුංචියට ගන්න එපා. අපි ආණ්ඩුවක් හැටියට මේ රට, සැලසුම් සහගතව සංවර්ධනය කරන මහා දැවැන්ත ව්‍යායාමයේ යාන්ත්‍රණය සකස්කර ගන්නා අවස්ථාවක්. මෙච්චර කාලයක් වැඩ කළේ ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව අපේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම. ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු නායකත්වය දීලා. ඒකෙන් මේ රටේ ජනතාවට සතුටුවෙන්න පුළුවන් දේවල් කළා.
රජයේ සේවකයන්ට මේ අප්‍රේල් මාසෙ දැනෙන මූලික වැටුපක් අතට ලැබුණා. රජයේ සේවකයෝ හිතුවෙත් නැහැ එච්චර ලැබෙයි කියල. නෝනයි මහත්තයයි දෙන්නම රජයේ සේවකයෝ නම් මේ මාසෙ හොඳ ගාණක් හම්බවුණා. ඊට වඩා හොඳ වැටුපක් ලැබෙනව මැයි මාසේ. ගොඩක් අයට ඕ.ටී., නිවාඩු දීමනා, මේ ආදී දීමනා ලැබෙන්නේ මැයි මාසේ. ඒක හැදෙන්නේ 2027 ජනවාරිවල ලැබීමට නියමිත මූලික වැටුපට අදාළව. ඉතිහාසයේ මොන කාලේද මෙහෙම ආණ්ඩු කළේ. රනිල් වික්‍රමසිංහල මූලික වැටුප 2500ක් කරන්න ඒක දීල අවුරුදු 3කට පස්සේ තමයි දීමනා දෙන්න පටන් ගත්තේ. අපි මාස 18කට පස්සේ මූලික වැටුපට දීමනා හදනවා. හොඳ නැද්ද? හොඳයි. ආණ්ඩුව නීතියක් සම්මත කළා, පෞද්ගලික අංශයේ වැඩකරන අයෙක් ඉන්නව නම් අප්‍රේල් මාසයේ සිට, අවම මූලික වැටුප රු.27,000ක් කරන්න. තිබුණේ විසිඑක්දාහ, එය විසිහත් දාහ කරනවා. ජනවාරි වෙන කොට රු.30,000ක් වෙනවා. අතට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩිකර තියෙනවා. ගෙදර දරුවා යන්නේ දරුවෝ 300ට වඩා අඩු පාසලකට නම්, ඒ වගේ දරුවො ලක්ෂ 16කට රු.6000ක් දුන්නා. පොත් පත් පාසල් උපකරණ ගන්න. දෙන්නෙක් හිටියොත් රු.12,000ක් ලැබෙනවා. තුන්දෙනෙක් හිටියොත් රු.18,000ක් ලැබෙනවා. තුන්සියයට වඩා අඩු පාසල් දරුවන් 8,25,000කට පාවහන් ගන්න රු.3000ක් දුන්නා . ශිෂ්‍යත්වය පාස්වුණු දරුවන්ට ලැබුණ රුපියල් 750ක ශිෂ්‍යාධාරය රු.1500 දක්වා දෙගුණ කළා. මහපොළ හිමිකම් කියන විශ්වවිද්‍යාල දරුවන්ට රු. 5000ක දීමනාව රු.7500ක් කළා. මහපොළ නොලැබෙන දරුවන් විශ්වවිද්‍යාලයේ ඉන්නවා නම් ඒ අයටත් ශිෂ්‍යාධාරය දෙනවා. තිබ්බේ 4500යි. ඒක රු.6500ක් දක්වා වැඩිකර තියෙනවා. කාර්මික විද්‍යාලවලට යන දරුවන්ට රු.5000ක දීමනාවක් ලැබෙනවා. මොන්ටිසෝරි යන දරුවන්ට කෑමවලට දීපු දීමනාව රු.60 දීමනාව රුපියල් 100 දක්වා වැඩි කළා. දරුවෝ එක්ලක්ෂ පනස්දාහකට වාසියක් වෙනවා. මොන්ටිසෝරියේ ටීචර්ගේ දීමනාව රු.1000කින් වැඩි කළා. මේ කිවුවේ පොඩ්ඩයි. මේ මාස හතරෙ කරපු දේවල් ටිකක් මේ. මාස 4කට මෙහෙම නම් මාස 60ක් යන කොට මේ රටට කොතරම් දේවල් ලැබෙනවාද කියල ඔබට කල්පනා කරන්න පුළුවනි. ඔබේ ඡන්දයට ඉහළම වටිනාකමක් දී තියෙනවා.
රනිල් ඇතුළු වික්‍රමසිංහ ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් කිසිවක් දෙන්න බැහැ. වැටුප් වැඩිකරන්න බැහැ. ඕ.ටී. වැඩිකරන්න බැහැ. රක්ෂා දෙන්න බැහැ. රනිල්ගේ ආණ්ඩුව කිවුවේ, අයි. එම්. එෆ්. එක නිසා කිසිවක් කරන්න බැහැ කියලා. දැන් ඒ වාරික ගන්න ගමන් ඔබට සහන දී තියෙනවා. ඒ වගේම ආණ්ඩුව 30,000ට රැකියා දෙන්න වැඩ පිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ දැනටමත් උපාධිධාරීන්ට, ඕලෙවෙල් සමත් අයට රැකියා තිබෙනවා. ඒ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු සහායකයින් ස්ථිර කරන්න වැඩපිළිවෙලක් සැලසුම් කරගෙන යනවා. මේ යටතේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 900ක් බඳවාගෙන තිබෙනවා. දැන් ඒ අය සේවයට වාර්තා කර සේවය කරමින් ඉන්නවා. මැයි මාසය ඇතුළතදී සෞඛ්‍ය සේවයට හෙද හෙදියන් බඳවා ගන්නවා 3146ක්. ඇටන්ඩන්ලා 1000ක්. රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය තව 3000කට ආසන්න සංඛ්‍යාවක්  බඳවා ගන්න පුළුවනි. මේ ආදී වශයෙන් පොලිස් නිලධාරීන්, ගුරුවරු විවිධ ක්ෂේත්‍රවල පුරප්පාඩු සොයා බලමින් අත්‍යවශ්‍ය තැන්වලට බඳවා ගැනීම් කරනවා. දෙන්න බැහැ කිවුවට අපි මේ රටේ ජනතාවට ඒ අවස්ථාව ලබා දුන්නා. දැන් සංචාරකයන් ලක්ෂ 30ක් ලංකාවට එන කොට එහි විවිධ රැකියා අවස්ථා ඇතිවෙනවා. අපේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන්න බැහැ කියා සිටි ව්‍යාපාරිකයන්, විදේශිකයන් දැන් ලෑස්තියි ආයෝජනය කරන්න. ඒ නිසා පෞද්ගලික අංශයේත් රැකියා අවස්ථා ඇතිවෙනවා. ඒවා ඉතාම සාධාරණව දේශපාලන මැදිහත් වීමෙන් තොරව, දක්ෂතාවයට, හැකියාවට, කුසලතාවයට ලබාදෙන ක්‍රමයක් අනුගමනය කරනවා. අපි හදන නිෂ්පාදන ආර්ථිකයේ  ප්‍රතිලාභ පෙරළා ඔබට ලබා දෙනවා.
නාගගොඩ ශික්ෂණ රෝහල ගැසට් කරගන්න පුළුවන් වුණාට ඇත්ත ශික්ෂණ රෝහලක් බවට පත්වුණේ නැහැ. අපි පළමු වැනි මාස කීපය තුළදී ඊට අවශ්‍ය පහසුකම් ටික දුන්නා. මේ ජුනි මාසේ වන විටි මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළවෙනි වසර අවසන් ශිෂ්‍ය කණ්ඩායම මහාචාර්ය ඒකකයේ පුහුණුවට එනවා. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය විශේෂඥවරු එනවා. එවිට නියම ටීචින් හොස්පිටල් එකක් වෙනවා. එහා පැත්තේ තියෙනවා හොරණ මූලික රෝහල. එය දිස්ත්‍රික් මහ රෝහලක් දක්වා උසස් කර තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එය මධ්‍යම ආණ්ඩුවට පවරගෙන තවදුරටත් සංවර්ධනය කරන්න. මේ ආදී වශයෙන් සෞඛ්‍ය සේවාව දියුණු වෙනවා. සෞඛ්‍ය ඔබ ළඟට එනවා. අපේ ප්‍රධාන ඉලක්කයක් තමා ප්‍රාථමික සෞඛ්‍ය සේවය දියුණු කරන එක. වයස් ගත ජනගහනයට, බෝ නොවන රෝග වැඩියෙන් තිබෙන අයට, ඔබට පහසු තැනක කිලෝ මීටර් 3ට අඩු දුරකින් ඔබේ සෞඛ්‍ය රැකබලා ගන්නා මධ්‍යස්ථානයක් පිහිටු වනවා. කළුතර දිස්ත්‍රික්කයේ එවැනි මධ්‍යස්ථාන 172ක් ඉදිකිරීමට ස්ථාන හඳුනාගෙන තියෙනවා. ඉදිරි අවුරුදු 3 ඇතුළතදී ඒ ඉදිකිරීම් කටයුතු කරනවා. ඔබේ ආණ්ඩුව මේවාට මුදල් වෙන්කර තියෙන්නේ. මේ මස 4 වෙනුවෙන් ඔබ වෙනුවෙන් සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 1400ක්, කෝටි එක්ලක්ෂ හතලිස් දාහක්) වෙන් කර තියෙනවා. සෞඛ්‍යට පමණක් රුපියල් කෝටි නවදාස් දෙසීයක් තියෙනවා. මාර්ග සංවර්ධනයට තියෙනවා කෝටි තිස්පන්දාස් පන්සීයක්. පාලම් හදන්න කෝටි දෙදාස් එකසීය පනහක්. වාරිමාර්ග වෙනුවෙන් කෝටි හත්දාස් අටසීයක් වෙන්කරල තියෙනවා. මේ සියල්ල මහජන යහපතට.
මේ වැඩ කරන කොට ජනාධිපතිගේ සිට පහළට දුවන යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ දම්වැලේ පුරුක් එකතු විය යුතුයි. ඔබ මේ මැයි 6 දා ගමට නියෝජිතයෙක් හදාගන්නවා නෙවෙයි අර යෝධ සංවර්ධනයේ යාන්ත්‍රණයේ අපට සම්පූර්ණ කරගන්න බැරිවේච්ච කොටස සම්පූර්ණ කර ගන්න තමයි මේ කටයුතු කරමින් ඉන්නේ. මේ වැදගත් අවස්ථාවක්. වැදගත් ඡන්දයක්. බේරුවල නගර සභාවයි, ප්‍රාදේශීය සභාවයි විතරක් නොවේ මේ ආයතන 17ම ජයග්‍රහණය කරගෙන ඔබේ ජීවිතය ලස්සන කර ගනිමු. පොහොසත් රටක් කර ගනිමු. ඒ වෙනුවෙන් ශක්තිමත්ව සියලු දෙනාම මාලිමාව වටා එක්වෙන්න. සියලුම කොට්ඨාස ජයග්‍රණය කරමු.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here