මැතිවරණ දෙකකදී ජනතාව රැවටූ මාලිමාව දැන් ගමේ පචයොන්ට බලය ඉල්ලනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

0
7


සටහන – රුවන් නෙළුගොල්ල

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ජේවීපී ආණ්ඩුවේ පච පොරොන්දු දේශපාලනය නිසා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීම අද විනාශ වී ඇති බවත් ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී බොරුව ඇන්දවිල්ල මංමුලා කිරීම හරහා ජනතාව රවටා මේ වන විට පළාත් පාලන මැතිවරණයේ දී ද ක්‍රියාත්මක කර ගමේ බලය පචයොන්ට දෙන්න කියා ඉල්ලා සිටින බවත් එම නිසා තුන්වැනි වතාවටත් මොවුන්ට රැවටෙනවාද කියා ජනතාවගෙන් ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බදු, දූෂණ හා වංචා, කොමිස් මුදල් ආදිය නිසා තෙල් මිල වැඩි බවත් මේවා ඉවත් කිරීම හරහා තෙල් මිල අඩු කළ හැකි යැයි පැවසුවත් තවමත් තෙල් මිල වැඩි බවත් වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දෙනවා කිව්වත් අද එය සිදු නොවී ඇති බවත් අද වන විට ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරය පවා නොලැබෙන බවත් මිල සූත්‍රය පවා අහෝසි කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය. ඉන්ධනවල බදු ඉවත් කළා නම් කොමිස් මුදල් නැති කළා නම් වරායේ ගොඩබාන ගානටම තෙල් ලැබිය යුතු වුවත් මොවුන් එදා කිව්වේ බොරු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එක පෑන් පාරින් විදුලි බිල අඩු කිරීම කෙසේ වෙතත් වැඩි කරන්න නම් හැදුවා

එක පෑන් පාරෙන් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් බලයට පැමිණි පසු එක පෑන් පාරින් මාස 6කට විදුලි බිල අඩු කළ නොහැකි බවට ලිපි නිකුත් කළ බව බවත් මේ නිසා පොදු ජනතාව කැලබී මහජන උපයෝගීතා කොමිසම හමුවට ගිය අවස්ථාවේ මහජන උපයෝගීතා කොමිසම 20%කින් විදුලි බිල අඩු කලා මිස රජය හෝ ජනාධිපතිවරයා එය අඩු නොකළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ පච ආණ්ඩුවට තවත් 13%ක් අඩු කිරීමට ඇති බවත් පැවසීය.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 263000ක් ද වැහිලා

පළමු අයවැයෙන් රැකියා විරහිත උපාධිධාරීන් 35000කට රැකියා දෙනවා කිව්වත් එකක්වත් නොදුන් බවත් දුප්පත්කම තුරන් කරන්න නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා කිව්වත් එය ද නොවූ බවත් බොරුව රැවටිල්ල වංචාව ඇන්දවිල්ල හරහා බලය ලබා ගන්න හා රැදී සිටින්න පුළුවන් යැයි සිතන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ නිවසට ලැබෙන ආදායම් පහළ වැටී ජීවනෝපාය අහිමි වී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 263000ක් ද වැසී ඇති මුත් කාගෙන්වත් මේ අයට පිහිටක් නොමැති බවයි.

බඩු මිල අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් හාල් පොල් කිරිපිටි මිල පවා වැඩි වී ඇති මොහොතක ලුණු අවශ්‍යතාවවත් සපුරාගත නොහැකි වී ඇති බවත් රට පුරා ලුණු ලේවායන් රැසක් තිබුණත් මේ ලුණු ටිකවත් දෙන්න බැරි අය ගමේ බලය ඉල්ලා සිටින බවත් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය ජයගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාලිමා ප්‍රතිපත්ති මාලාව ඔවුන්ම කෑලි කෑලිවලට ඉරා දැමුවා

රාජ්‍ය සේවකයන්ට රු. 20000ක වැටුප් වැඩි වීමක් ලබා දෙනවා සේම මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා යැයි කිව්වත් එයද නොවූ බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන මාලිමා ප්‍රතිපත්ති මාලාව ඔවුන්ම කෑලි කෑලිවලට ඉරා දමා ඇති බවත් මොවුන් අයි එම් එෆ් එකත් සමග නව ගිවිසුමකට යන බව පැවසුවත් එය ද නොවූ බවත් වත්මන් රජය හිටපු ජනාධිපතිවරයාගේ අයි එම් එෆ් ගිවිසුමම අනුගමනය කර හිටපු ජනාධිපතිවරයාගේ වැල් පාලමේම යන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here