මාදැල් ධීවර සත්‍යග්‍රහය හමුවේ ඉහළ යන මාළු මිල?

0
3

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව විසින් පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළේ මාළු මිල ගණන්වල සුළු වැඩිවීමක් දක්නට ලැබේ.

මෙම තත්ත්වය හමුවේ මාළු වෙළෙඳන් පවසන්නේ, මේ දිනවල වෙළෙඳපොළ වෙත පැමිණෙන මාළු තොග ප්‍රමාණයේ අඩුවක් පවතින බවය. 

එහි ප්‍රතිඵලයක් ලෙස මාළු තොග මිල ගණන් මෙන්ම සිල්ලර මිල ගණන්ද සුළු ලෙස ඉහළ යන බව ඔවුහු සඳහන් කරති.

එවන් පසුබිමක අද (10) දින පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ මාළු තොග මිල ගණන් ලෙස කෙලවල්ලා මාළු කිලෝවක් රුපියල් 2,700ක්, තෝර මාළු කිලෝවක් රුපියල් 3,600ක් සහ පරා මාළු කිලෝවක් රුපියල් 3,000ක් ලෙස දැක්වුණි.

මීට අමතරව සාලයා මාළු කිලෝවක් රුපියල් 700ක්, ලින්නා මාළු කිලෝවක් රුපියල් 900ක් සහ බලයා මාළු කිලෝවක් රුපියල් 2,000ක් ලෙසද මිල ගණන් සටහන්ව තිබුණි.

වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, මෙම සත්‍යග්‍රහය තවදුරටත් දිගු වුවහොත් මාළු මිල ගණන් තවත් ඉහළ යා හැකි බවය.

හයවන දිනටත් සත්‍යග්‍රහය

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර භාවිතයෙන් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහය අද (10) හයවන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් සඳහන් කළේ, ඊයේ (09) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා යටතේ කමිටුවක් පත් කරන බවට තමන්ට දැනුම් දුන් බවය.

කෙසේවෙතත්, තම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ, වින්ච් මාදැල් ධීවරයින් විසින් ගොනු කර ඇති නඩුව පෙබරවාරි 27 වැනිදා යළි කැඳවීමට නියමිත අතර, එයින් අනතුරුව ධීවරයින් සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් බවය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

මාදැල් භාවිතය සම්බන්ධයෙන් නව නීති පනවා නොමැති බවත්, පවතින නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් සිදු කරන බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසුවේ, 1984 මාදැල් නියෝග මාලාවට අනුව මාදැල් ධීවර කර්මාන්තය යනු යාන්ත්‍රික උපකරණ භාවිතයෙන් තොරව, මිනිස් ශ්‍රමය පමණක් යොදාගෙන සිදු කළ යුතු සාම්ප්‍රදායික වෘත්තියක් බවය.

දිවයිනේ ක්‍රියාත්මක මාදැල් 827ක් අතරින් බහුතරයක්, විශේෂයෙන් දකුණු පළාතේ ධීවරයින් අදටත් කිසිදු ගැටලුවකින් තොරව සාම්ප්‍රදායිකව මෙම කර්මාන්තයේ නිරත වන බවද ඔහු පෙන්වා දුන්නේය.

වින්ච් යන්ත්‍ර සහ ට්‍රැක්ටර් භාවිතය හේතුවෙන් පාරිසරික හා සමාජීය ගැටලු පැන නගින බව අවධාරණය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියමිත ප්‍රමාණයට වඩා දිගු දැල් සහ අධික බරැති පාරු භාවිත කිරීමෙන් මුහුදු පතුල සූරාගෙන යාම සිදුවන බවත්, එමඟින් කොරල්පර සහ මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වන බවත් පැවසීය.

එමෙන්ම වෙරළ තීරයේ බර යන්ත්‍ර භාවිතය හේතුවෙන් වෙරළ ඛාදනය සහ වෙරළ පරිසර පද්ධති විනාශ වන අතර, විශාල මුහුදු ප්‍රදේශ වට කිරීම හේතුවෙන් කුඩා ධීවර යාත්‍රා හිමියන්ට සහ අනෙකුත් ධීවරයින්ට රැකියාවේ නිරත වීමට බාධා පැන නගින බවද ඔහු අවධාරණය කළේය.

නවීන තාක්ෂණය භාවිත කරන බව පවසමින් සිදුකරන්නේ නීතිවිරෝධී සහ පරිසර විනාශකාරී ක්‍රියාවක් වන බවත්, සම්ප්‍රදායික ධීවර කර්මාන්තය සහ සමුද්‍රීය සම්පත රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් බවත් සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් කියාසිටියේය.

ඒ හේතුවෙන්, අනෙකුත් ධීවරයින්ට හෝ පරිසරයට හානි නොවන පරිදි, නීත්‍යානුකූල රාමුව තුළ සිට මාදැල් ධීවර කර්මාන්තයේ නිරත වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලු මාදැල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.

රජයේ පැහැදිලි කිරීම

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර භාවිතයෙන් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් අද දින කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී මාධ්‍යවේදීයෙකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුර දුන් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“මසුන් අල්ලන මාදිලි ගණනාවක් ධීවරයින් විසින් අනුමානය කරනවා. සමහර ඒවා සම්ප්‍රදායික ක්‍රම. සමහරක් එවා තාක්ෂණය මුසුකරගත් ක්‍රම. හැබැයි මතක තියගන්න මේ ඕනෑම පන්න ක්‍රමයක්, ඕනෑම සම්ප්‍රදායික හෝ  තාක්ෂණික ක්‍රමයකින් අවසානයේ අපේ රටේ පාරිභෝගිකයාට මසුන් ලැබෙනවා. ඒ වගේම මුහුදේ මත්ස්‍ය සම්පතත් ආරක්ෂා විය යුතුයි. මත්සය අභිජනන ස්ථාන ඇතුළු ඒ සියල්ල විනාශ කරමින් කර්මාන්තයක් පවතින්නේ නැහැ. ඒ නිසාම අපේ රටේ සම්ප්‍රදායික ධීවර ක්‍රම සකස්වෙලාම තිබුණේ මත්ස්‍ය සම්පතත් ආරක්ෂා කරගෙන, ඒ කියන්නේ ඒ වර්ධනයට ඉඩකඩ හදමින් තමයි ධීවරයාට ඒ පහසුකම සැරලසිලා තිබුණේ.”

“ලංකාවේ මාදැල් පාඩු 898ක් ලියාපදිංචිකරලා තියෙනවා. මේවා සාමන්‍යයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාඩු 145ක්, යාපනයේ 144ක්, මඩකලපුවේ 109ක්, මන්නාරමේ 115ක් අදී ලෙසට. මෙක සකස්වෙලා තියෙන්නේ. ඒ ඇතුළු ගාල්ල සහ හම්බන්තොටද මාදැල් පාඩු තියෙනවා.”

“2015 කාලයේදී  මාදැල් කර්මාන්තයට ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර භාවිතයෙන් සිදුකරන්න යම් තාවකාලික අනුමැතියක් දීලා තියෙනවා. ඒ එවකට හිටපු ධීවර ඇමතිවරයා සහ ධීවර රාජ්‍ය ඇමතිවරයා විසින්. ඒ අනුව ඇමතිවරයා ධීවරයින් 72කට දීලා තියෙන්නේ. රාජ්‍ය ඇමතිවරයා  විසින් ඒක 183කට වැඩිකරන්න කියලා යෝජනා කරලා තියෙනවා.”   

“මේ කර්මාන්තය ආරක්ෂා කරගන්නම් යම් විද්‍යානුකූල ප්‍රවේශයක් අවශ්‍යයි. ධීවර අමාත්‍යාංශයේ නාරා කියලා ආයතනයක් තියෙනවා. ඒ ආයතනය තමයි මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ කරන්නේ. ඒ අනුව 2015 කාලයෙදීත් නාරා ආයතනය ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර භාවිතයෙන් ඒ අයගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා.”

“ඇත්තටම ධීවර කර්මාන්තයේ යෙදිලා ඉන්න අය දන්නවා අපිට තිබෙන ලොකුම අභියෝගය අපේ කලාපය තුළ මත්ස්‍ය ගහණය අඩුවීම ඒකටත් වැඩපිළිවෙළක් අවශ්‍යයයි. නාර ආයතනය ඒ පිළිබඳ මැදිහත්වීමක් කරමින් ඉන්නවා. ඉතින් මේක තමයි ප්‍රශ්නය.” 

“සම්ප්‍රදාක විදිහට මාදැල් කර්මාන්තයේ යෙදන අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කරගෙන යන්න පුළුවන්. නමුත් මේ ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර භාවිතයෙන් අවසර ලබාදෙන්න කියලා මේ කටයුතු කරගෙන යන්නේ මේ සම්බන්ධයෙන් ඔවුන් පැවරූ නඩුවක් තිබෙනවා. නඩු දිනය 2‍7 ඉතින් මම හිතනවා අධිකරණයෙන් මේ කර්මාන්තයේ පැවැත්ම ගැන තීන්දුවක් ලබාදෙයි කියලා.”     

“කෙසේ නමුත් අපිට කටයුතු කරන්න සිදුවෙන්නේ මේ තිබෙන විද්‍යානුකූල දත්ත මත පදනම්වෙලා ඒක දේශපාලන තීන්දුවක් නෙවේ.”

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here