සුප්‍රකට පාතාල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මදූෂ් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයභාරයේ සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.
මෙම මරණය 2020 වසරේ ඔක්තෝබර් 20දා අලුයම් කාලයේදී සිදුවන්නේ මාලිගාවත්ත පොලිස් වසමේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයකදීය.
මත්කුඩු කිලෝ 22ක් ඇති ස්ථානයක් පෙන්වීමට මාකඳුරේ මදූෂ් එම නිවාස සංකීර්ණයට රැගෙන ගිය අවස්ථාවේදී පාතාලය විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කළ බව පොලීසියේ නිල ප්‍රකාශ මඟින් එකල කියවිණි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන මාලිගාවත්ත පොලීසිය මඟින් සිදුකළද වසර 05කට වැඩි කාලයක් ගත වී ඇතත් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව නැත. මේ තත්ත්වය මත මාකඳුරේ මදූෂ්ගේ පවුලේ සාමාජිකයන් මෙන්ම සිවිල් සංවිධාන ක්රියාකාරිකයන් දිගින් දිගටම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මාලිගාවත්ත පොලීසිය යටතේ ඇති විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසය. ඒ මෙම ඝාතනය හා බැඳුණු අබිරහසක් ඇතැයි සඳහන් කරමිනි.
පාතාලයේ ගෝඩ් ෆාදර්වරයෙක් ලෙස වැජඹුණු මාකඳුරේ මදූෂ් ඩුබායිහී රැඳී සිටිමින් මිනිස් ඝාතන හා මත්කුඩු ජාවාරම මහා පරිමාණයෙන්ම ෙමහෙයවූවෙක් බව සඳහන්ය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, කළුතර, එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාලයේ සමයං ඇතුළු පාතාල අපරාධකරුවන් 05 දෙනෙක් ද, බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ද ඝාතනය කරවන්නේ යැයි සඳහන් වූයේද මාකඳුරේ මදූෂ්ය.
සිය දියණියගේ උපන්දින සාදය පවත්වමින් සිටියදී මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිසක් ඩුබායි පොලීසියට තරු පන්තියේ හෝටලයකදී 2019 වසරේ පෙබරවාරි 05දා කොටුවන්නේ ඔය අතරතුරදීය. ඩුබායි පොලීසිය විසින් ඔහු සමඟ එදා ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අතර කුප්‍රකට පාතාල අපරාධකරුවන් වූ කංජිපානි ඉම්රාන්, රොටඹ අමිල ඇතුළු පිරිසක් ද ගායක පිය පුතු දෙපළක් ද, රංගන ශිල්පියෙක් ද, බන්ධනාගාර නිලධාරියෙක් ද ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල අය ඒ අතර වූහ. බොහෝ දෙනෙක් මෙරට සිට එම සාදය සඳහාම ඩුබායි ගිය අය බව හෙළිවිය.
ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයට අනුව සහ එවකට පැවති රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෞද්ගලිකව සිදුකළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මත මාකඳුරේ මදූෂ් එම වසරේ මැයි 05 වැනිදා මෙරටට භාරදී තිබුණි. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි ගොස් ඔහුව මෙරටට රැගෙන ආවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත මාස 18ක කාලයක් රඳවාගෙනද විමර්ශන පවත්වනු ලැබීය. මේ කාලය තුළ මදූෂ් සමීපව ඇසුරු කළ බව කියන විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් 80ක පමණ තොරතුරු ද අනාවරණය වී තිබුණි. ඒ අතර ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙෙනක් ද සිටියහ. ඒ අතර ඇමැතිවරුන්ගේ නම් ද කියවී තිබුණි.
මාකඳුරේ මදූෂ්ට මෙරට සහ ඩුබායිහි ඇති දේපොළ ඇතුළු වත්කම් ගැන පවා තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන තිබුණි. ඒ අනුව මත්කුඩු සමඟ නම බැඳුණු දේශපාලනඥයෙක් පවා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මූලික විමර්ශන කටයුතු පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්යක්ෂ ශානි අබේසේකර මහත්වරුන්ය.
යහපාලන ආණ්ඩුව පෙරළී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ස්ථාන මාරුකරමින් මාකඳුරේ මදූෂ් සම්බන්ධයෙන් වූ විමර්ශන අඩපණ කිරීමට කටයුතු කර තිබුණු බව පොලීසියේ ප්‍රසිද්ධ රහසකි. මාකඳුරේ මදූෂ්ගේ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඒ වන විටත් විමර්ශන පවත්වමින් සිටි දේශපාලනඥයාද ප්‍රබල නියෝජ්‍ය අමාත්‍ය ධුරයකට ද පත්විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මදූෂ්ව හිටිහැටියේම කොළඹ අපරාධ කොට්ඨාසයට 2020 වසරේ ඔක්තෝබර් 16 වැනිදා හෝ ආසන්න දිනකදී භාර දුන්නේය. ඒ ඉහළ නියෝගයකින් බව සඳහන් කරමිනි.
කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගෙන පැය 24ක් යන්නට මත්තෙන් මදූෂ්ගේ තොරතුරු මත යැයි සඳහන් කරමින් කොටිකාවත්තෙන් හෙරොයින් කිලෝ 10ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් සොයා ගත්තේය. ඒ වනවිටත් මාස 18ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි මදූෂ්ගෙන් එතරම් මත්කුඩු තොගයක් තබා මත්කුඩු ග්‍රෑම් 01ක් වත් සොයා ගෙන තිබුණේ නැත. එහෙත් මදූෂ්ගේ පිටුපස සිටි දේශපාලන ජාලයත් පොලීසියේ සහ බන්ධනාගාරයේ පිරිස් සම්බන්ධයෙනුත් බොහෝ තොරතුරු හෙළිකර ගෙන තිබුණි.
කොටිකාවත්තෙන් මත්කුඩු කිලෝ 10ක් සොයා ගැනීමෙන් දින 03කට පසු එනම් 19 වැනිදා රාත්‍රී කාලයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාකඳුරේ මදූෂ්ව මාලිගාවත්තේ මහල් නිවාස සංකීර්ණයක් වෙත රැගෙන යන්නට සූදානම් වන්නේ එම නිවාස සංකීර්ණයේ 10 වැනි මහලේ සඟවා ඇතැයි මදූෂ් විසින් හෙළිකළා යැයි කියනු ලබන තවත් මත්කුඩු කිලෝ 22ක් සොයා ගැනීමටය.
එම නිවාස සංකීර්ණය පැල්පත් හා මුඩුක්කු ඉවත් කර කොළඹ ඛෙත්තාරාම නිවාස සංකීර්ණය ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ ගොඩනැඟිලි සංකීර්ණයකි. මාකඳුරේ මදූෂ් ඩුබායි බලා යන විට මෙම නිවාස සංකීර්ණය ඇති භූමියේ තිබෙන්නේ පැල්පත් හා මුඩුක්කුය. මෙම නිවාස සංකීර්ණය ජනතාව වෙනුවෙන් විවෘත කරනු ලබන්නේ ද යහපාලන ආණ්ඩුව සමයේදීය. මාකඳුරේ මදූෂ් මෙම නිවාස සංකීර්ණයට සිය ජීවිතයේ කිසිදු අවස්ථාවක පය තබා තිබුණේ නැත. මදූෂ්ව රැගෙන එම නිවාස සංකීර්ණයට රැගෙන යන්නේ එම නිෙවස පෙන්වීමට යැයි පොලීසිය එකල කීවේය.
නිවාස සංකීර්ණය තුළදී පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ මාංචු පිටින් සිටි මදූෂ්ට නාඳුනන පුද්ගලයෙක් ළඟටම පැමිණ ඔළුවටම වෙඩි තබා පලාගිය බව පොලීසිය නිල වශයෙන් එකල කීවේය.
මාකඳුරේ මදූෂ්ව එදා මහා රෑ මෙම තට්ටු නිවාස සංකීර්ණයට රැගෙන එන බව දැන සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙතුන් දෙනෙක් සහ පොලිස් ප්‍රධානීන් කිහිප දෙනෙක් පමණි. එසේ තිබියදී මදූෂ්ව ගොඩනැඟිල්ලට රැගෙන යන අවස්ථාවේදී අවි ගත් පොලිස් නිලධාරීන් ඉදිරිපිට මාකඳුරේ මදූෂ්ට වෙඩි තැබීමට හැකියාවක් තිබේදැයි අදටත් ඇත්තේ සැකයකි. අපරාධ පරීක්ෂණ ෙදපාර්තමේන්තුවට විමර්ශන පවරා ඇත්තේ මේ තත්ත්වය මතය.
මදූෂ්ගේ මෙම අබිරහස් මරණයත් සමඟ මදූෂ්ගේ මත්කුඩු ජාලයේ සිටි දේශපාලනඥයන් ඇතුළු පිරිස් සිටින්නේ අදටත් නිදහසේ හුස්ම ගනිමිනි. කළු සල්ලිවලින් මදූෂ් අත්පත් කරගත් කෝටි ප්‍රකෝටි ගණනක් වූ දේපොළ ආගිය අතක් නොමැතිය. මේ දේවල් ගැන දැන් නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුල සිටම විමර්ශන ආරම්භ කෙරෙනු ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.
Saru News
















