Tuesday, May 6, 2025
Saru FM Media
Home මහාවංශය මහාවංශය 17

මහාවංශය 17

0
15


01. උන්මාද චිත‍්‍රාවගේ අණ ලද දාසිය ළදරු කුමරුන් ව කරඬුවක තබාගෙන දොරමඬලා නම් ගමට ගියා ය.
02. රජ කුමරුවෝ ද මුව දඩයමේ ගියෝ, තුඹුරු කඳුරෙහි දී දාසිය දැක ‘‘කොයිබ යන්නේ ද? මේ කුමක් ද?” යැයි විමසුවෝ ය.
03. ‘‘දොරමඬලාවට යන්නෙමි. මේ මාගේ දුවට ගෙන යන කැවුම් කූඩය යි” දාසිය කී විට ‘‘වහා තබව” යැයි කුමරුවෝ ඇයට කීහ.
04. චිත‍්‍ර, කාලවේල යන යක්ෂයෝ දෙදෙනා කුමරුගේ ආරක්ෂාව පිණිස පැමිණ සිටියෝ, එවේලෙහි මහත් වූ ඌරු වෙසක් ගෙන පෙන්වන්නට සැලැස්වූහ.
05. ඔවුහු ඌරුතෙම ලූහුබැඳ ගියහ. දාසිය කුමරුන් රැගෙන එකී ගමට ගියා ය. දරුවා ව ද මසුදහස ද නියෝජිතයා හට රහසේ ම දුන්නා ය.
06. ඒ දවසේ දී ම ඔහුගේ භාර්යාව පුතෙකු බිහි කළා ය. හෙතෙම ‘‘මාගේ බිරින්දෑ දරුවන් දෙදෙනෙකු බිහි කළා ය” කියා ඔවුහු පෝෂණය කළහ.
07. කුමර තෙමේ සත් හැවිරිදි වූයේ ය. මාමාවරු ඔහු ව දැන විලට පැමිණ දිය ක‍්‍රීඩා කරන දරුවන් මරන්නට (සේවකයන්) මෙහෙයවූහ.
08. ජලයෙහි වූ ගසක ජලයෙන් වැසී ගත් රුක් සිදුරක් තුළ කිමිදෙන කුමර තෙමේ එතුළ බොහෝ වේලාවක් හිඳ යළිත් එම සිදුරෙන් ම සෙසු දරුවන් වෙත එන්නේ ය.
09. ‘‘කොහි ගියේ ද?” යැයි අන් දරුවන් කුමරුගෙන් විමසූව ද හෙතෙම ඔවුන් ව වචනයෙන් රැවටුවේ ය.
10. මිනිසුන් එහි පැමිණි දිනයේ ඒ කුමර තෙමේ රෙදිකඩ හැඳගෙන ම දියෙහි ගිලී රුක් සිදුරට වී සිටියේ ය.
11. ඔවුහු සෙසු සෙසු දරුවන් මරා, රෙදිකඩ ගණන් කර ගොස්, ‘‘සියලූ දරුවන් මරණ ලද්දේ ය” යැයි රජ කුමරුවන්ට දැන්වූවෝ ය.
12. ඔවුන් ගිය පසු හෙතෙමේ තම නියෝජිතයා වෙත ගියේ ය. ඔහු විසින් අස්වසන ලද්දේ හෙතෙම දොළොස් හැවිරිදි වූයේ ය.
13. නැවත ද කුමරුන් ජීවතුන් අතර සිටින බව අසා ඔහුගේ මාමාවරුන් එහි සියලූ ගොපල්ලන් මරන්නට මිනිසුන් මෙහෙය වූහ.
14. ඒ දිනයේ ගොපල්ලෝ එක සිවුපාවෙකු (දඩයම) ලබා ගින්දර ගෙන එනු පිණිස ඒ කුමරුන් ව ගමට යැවූහ.
15. හෙතෙමේ ගමට ගොස් සිය නියෝජිතයාගේ පුතු හට, ‘‘මාගේ පා රිදෙන්නේ ය. ඔබ ගොපල්ලන් වෙත ගින්දර ගෙන ගොස්,
16. අඟුරෙහි පළහන ලද මස් ද අනුභව කරන්නේ ය” යැයි කියා පිටත් කළේ ය. එබස් ඇසූ හෙතෙමේ ගොපල්ලන් වෙත ගින්දර ගෙන ගියේ ය.
17. මෙහෙයවනු ලැබූ මිනිස්සු විසින් ඔවුන් වටලා මරා දැමූහ. සියලූ ගොපල්ලන් මරා දැමූ බව මාමාවරුන්ට දැන්වූහ.
18. පසුව දහසය හැවිරිදි ව ඒ කුමරුන් ගැන මාමාවරු දැන ගත්තෝ ය. මෑණියන් (ඔහුට මසු) දහසක් දුන්නා ය. කුමරුගේ ආරක්ෂාව ද වැඩි කළා ය.
19. නියෝජිතයා මෑණියන් කියූ සියල්ල ඔහුට දන්වා දාසයෙකු සමඟ මසු දහසක් දී පණ්ඩුල බ‍්‍රාහ්මණයා වෙත යැවුවේ ය.
20. වේදපාරගත වූ, බොහෝ සම්පත් ඇත්තා වූ පණ්ඩුල නම් බ‍්‍රාහ්මණ තෙමේ දක්ෂිණ දිශාවේ පණ්ඩුල නම් ග‍්‍රාමයේ වාසය කළේ ය.
21. කුමර තෙමේ එහි ගොස් පණ්ඩුල බ‍්‍රාහ්මණයා බැහැ දැක්කේ ය. ‘‘දරුව, ඔබ පණ්ඩුකාභය ද?” යැයි විමසා, ‘‘එසේ ය” කී විට,
22. ඔහුට සත්කාර කරවා ‘‘දරුව, ඔබ රජවන්නේ ය. සම සැත්තෑ අවුරුද්දක් රජකම් කරන්නේ ය.
23. ශිල්ප ඉගෙන ගනුව” යැයි කියා ශිල්ප ඉගැන්වූයේ ය. ඔහුගේ ‘චන්ද්‍ර’ නම් පුතු හා වහා ශිල්ප නිම කළ කුමරු හට,
24. යෝධයන්ට සංග‍්‍රහ කරනු පිණිස මසු ලක්ෂයක් ද දුන්නේ ය. එයින් පන්සියයක් වූ යෝධයන්ට සංග‍්‍රහ කරනු ලැබූ පසු හෙතෙමේ,
25. ‘‘කෙනෙක් විසින් ගන්නා ලද පත‍්‍රයන් රත්රන් වී ද ඇය ව මෙහෙසිය කරව. මාගේ පුත‍්‍රයා පුරෝහිත කරව” යැයි කීවේ ය.
26. මෙසේ කියා ධනය දී යෝධයන් ද සහිත වූ කුමරු එයින් මෙහෙය වූයේ ය. කුමර තෙමේ සිය නාමය අසන්නට සලස්වා එතැනින් පිටත් වී,
27. කසාගල නම් නුවර දී සත්සියයක් වූ පුරුෂයන් ද සියලූ දෙනා හට භෝජන ද ලබා ගෙන බල ඇත්තේ,
28. එක්දහස් දෙසීයක් පුරුෂයන් විසින් පිරිවරන ලද්දේ ගිරිකඬ පව්ව නම් තැනට ගියේ ය.
29. පණ්ඩුකාභය කුමරුගේ මාමා කෙනෙකු වූ ගිරිකණ්ඩසිව නම් කුමරු පණ්ඩුවාසදේව රජු විසින් දුන් එම දේශය භුක්ති වින්දේ ය.
30. ඒ ක්ෂතී‍්‍රය තෙමේ ඒ කාලයේ කිරිය සියයක් වූ පැසුණු ගොයම් කප්පවන්නේ ය. ඔහුගේ දියණිය වූ ඉතා රූමත් පාලි නම් ක්ෂතී‍්‍රය කුමරිය,
31. සමාන වූ මහා පිරිවරක් ගෙන, ඔබින්නා වූ යානාවක නැගී පියාණන්ටත්, ගොයම් කපන්නවුන්ටත් බත් ගෙනයන්නී ය.
32. කුමරුගේ මිනිස්සු ඒ කුමරිය දැක කුමරුන්හට දැන්වූහ. පිරිවර සහිත වූ කුමර තෙමේ වහා ආවේ,
33. පිරිස දෙකඩ කොට ඇය වෙතට සිය යානාව මෙහෙය වූයේ ය. ‘‘කොහි යන්නේ ද?” යැයි ඇයගෙන් විමසුවේ ය.
34. ඇය සියල්ල කී කල, ඇය කෙරෙහි ඇලූණු සිත් ඇති ඒ ක්ෂත‍්‍රීය කුමර තෙමේ තමන් හට බත් බෙදනු පිණිස අයැද සිටියේ ය.
35. යානාවෙන් බැස ගත් ක්ෂතී‍්‍රය තොමෝ රන් බඳුනකට බත් ගෙන නුග රුකක් මුල දී රජ කුමරු හට දුන්නා ය.
36. සෙසු ජනයාට භෝජන දෙනු පිණිස ඕ නුගපත් අතට ගත්තා ය. එකෙණෙහි ඒ පත‍්‍රයන් රන් බඳුන් බවට පත්විය.
37. රජ කුමර තෙමේ ඒ බැව් දැක, බමුණා පෙර කිවූ දේ සිහිකොට, මහේෂිකාව වීමට සුදුසු වූ කන්‍යාවක් ලැබුණේ යැයි තුටු වී,
38. ඒ සියල්ලන් හට බොජුන් දුන්නේ ය. එහෙත් ඒ භෝජන ඉවර නො වී ය. එක් අයෙකු විසින් තම කොටස ගත්තාක් මෙන් දිස් විය.
39. මෙවන් පුණ්‍ය ගුණයෙන් යුතු වූ ඒ සුකුමාල කුමරිය එතැන් පටන් ‘ස්වර්ණපාලි’ නාමයෙන් ප‍්‍රසිද්ධ විය.
40. ඒ කුමරිය රැගෙන යානාවට නැගී ක්ෂතී‍්‍රය තෙමේ මහා බල සෙන් පිරිවරත් සමග ඉක්මනින් ම පළා ගියේ ය.
41. කුමරියගේ පිය තෙමේ එබැව් අසා සියලූ මිනිසුන් එවී ය. ඔවුහු ගොස් කලහ කොට, කුමරුගේ භටයන් විසින් තර්ජනය කරන ලද්දේ ආපසු පැමිණියෝ ය.
42. එහි ඉදිකළ නුවර ඒ හේතුවෙන් ‘කලහ නගර’ නම් විය. ඒ අසා ඇයගේ සොහොයුරන් පස් දෙනා යුද වදිනු පිණිස පැමිණියෝ ය.
43. පණ්ඩුල බමුණු පුත් චන්ද්‍ර තෙමේ ඒ සියල්ලන් නැසුවේ ය. ඔවුන් යුද කළ භූමිය ‘ලේවාකඩ’ නම් ලැබී ය.
44. ඉක්බිති ව පණ්ඩුකාභය කුමර තෙමේ ගංගාවෙන් එතෙර ව දොළුගලට ගියේ ය.
45. එහි සතර අවුරුද්දක් වාසය කළේ ය. මාමාවරුන් එපවත් අසා ඔහු හා යුද කරනු පිණිස පැමිණියෝ ය.
46. ඔවුන් දුම්රක්ගල කඳවුරු බැඳ ගෙන බෑණනුවන් හා යුද්ධ කළෝ ය.
47. බෑණනුවන් විසින් ලූහුබඳිනු ලැබූ මාමාවරුන් ගඟින් එතෙරට පළවා හරිනු ලැබූහ. ඔවුහු ඒ කඳවුරේ දෙවසරක් විසූහ.
48. උපතිස්ස ග‍්‍රාමයට ගිය ඔවුහු රජුට එපවත් දැන්වූහ. රජ තෙමේ රහස් සහිත හසුනක් කුමරු වෙත එවුවේ,
49. ‘‘ඔබ ගංගාවෙන් එතෙර භුක්ති විඳුව. ඉන් මෙපිට නො එව” යැයි දැන්වී ය. ඒ අසා කුපිත වූ රජුගේ සොහොයුරන් නවදෙනා,
50. ‘‘ඔබ බොහෝ කාලයක් ඔහුට උපකාරී වූයේ ය. දැන් රට ද දෙන්නේ ය. එබැවින් ඔබ ව නසන්නෙමු”යැයි කීවෝ ය.
51. ඒ රජ තෙමේ රාජ්‍යය ඔවුන්ට භාර දුන්නේ ය. සියල්ලන් ම එකතුව තිස්ස නම් සොහොයුරා රාජ්‍යයේ ප‍්‍රධානියා කළහ.
52. අභය දානය කරන්නා වූ ඒ අභය රජ තෙමේ විසි අවුරුද්දක් උපතිස්ස ග‍්‍රාමයේ වෙසෙමින් රාජ්‍යය කළේ ය.

(හුදී ජනපහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ දසවන පරිච්ඡේදයෙන් කොටසකි.)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here