ශ්‍රී ලංකා මහා බැංකුවේ මහල් 16 කින් යුත් පැරණි ගොඩනැගිල්ලට අයත් ගොඩනැගිලි තුනක් ආවරණය වන පරිදි ඉහළ මහලේ සවිකර තිබූ අකුණු සන්නායක පද්ධතියේ තඹකම්බි තොගයක් සොරාගෙන ගොස් ඇතැයි කොටුව පොලිසිය කියයි.
මෙසේ සොරාගත් තබ කම්බි දිගින් මිටර් 288 ක් පමණ වන බවත්, එහි වටිනාකම රුපියල් හතළිස් එක් ලක්ෂ තුන්දාහස් පන්සිය හැට අටක් බවත් පැවසේ.
ශ්‍රී ලංකා මහා බැංකුවේ කළමනාකරන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයකු පසුගිය 27 වැනිදා එම සොරකම සම්බන්ධයෙන් කොටුව පොලිසිය වෙත පැමිණිල්ල සිදුකර ඇත.
2026 ජනවාරි මස 15 වැනිදාත් පසුගිය 27 වැනිදාත් අතර කාලය තුළ මෙම සොරකම සිදු කරන්නට ඇතැයි එම පැමිණිල්ලෙන් දක්වා තිබේ.
ගොඩනැගිලි තුනක් පැරණි ගොඩනැගිල්ලට අයත් වන අතර අකුණු සන්නායක පද්ධතියද එම ගොඩනැගිලි තුනම ආවරණය පරිදි යොදාගෙන තිබූවකි.
මෙම සොරකම අභ්‍යන්තර සේවකයන් පිරිසක් නොව පිටස්තර පුද්ගලයන් විසින් සිදුකළ එකක් බවට මේ වන විට සිදුකළ පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.
මහා බැංකුවේ පැරැණි ගොඩනැගිල්ලේ පිටත තීන්ත ආලේපනය සඳහා 2025 වසරේ මාර්තු මස කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති අතර එම කොන්ත්‍රාත්තුවට තීන්ත ආලේප කිරීමට පැමිණි කම්කරුවන් කෙරෙහි පොලිස් සැකය මතුව ඇතැයි ද මේ අතර වාර්තා වේ.
Saru News
















