මන්ත්‍රී විශ්‍රාම වැටුප කපාදාන්න කථානායක අත්සන තියයි

0
3

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කතානායක ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව පනත 2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ඇත.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.

අද පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වූ මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154 ක් ද විපක්ෂව ඡන්ද 2 ක් ද හිමිවිය.

අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවීකරුණානායක සහ චාමර සම්පත් දසනායක යන මහත්වරු විසින් පනත් කෙටුම්පතේ 3වන වගන්තිය සඳහා සංශෝධන ඉදිරිපත් කළහ. 

ඒවා නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා දැනුම් දුන් අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා සිය සශෝධනයට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනයකින් තොරව සම්මත කිරීම සඳහා ඡන්ද 152 ක්ද ද යෝජිත සංශෝධනය කිරීම සඳහා පක්ෂව 4ක් ද හිමිවිය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තිය සඳහා ද සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර එය නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා දැනුම් දුන්නේය. ඉන්පසු පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත කෙරිණි.

මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2026 ජනවාරි මස 07 වන දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම මෙම පනත මගින් සිදුවේ. 

ඒ අනුව පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තකුට මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබී‍ම නතර‍වීම සිදුවේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here