බෙල්පෙපර් වලින් රස කෑම හදමු

0
13


බෙල්පෙපර් ලංකාවේ බහුල නැති උනත් දැන් ලාංකික ගොවියො ගොඩක් වවන්න පටන් ගෙන තියන එළවළුවක්. රස වගේම ආහාරයක පෙනුම ගන්න පාට පාට බෙල්පෙපර් පාවිච්චි වෙනව. අද අපි බෙල්පෙපර් වලින් හදන කෑම රෙසිපි ටිකක් ගැන කතා කරමු.

 

1. බෙල්පෙපර් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොටුවට කපාගත් බෙල්පෙපර් ගෙඩි 3 (පාට 3කින්)
  2. කපාගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් මින්චි කොළ ස්වල්පයක්
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. එක්ට්‍රා වර්ජින් ඔලිව්තෙල් මේස හැඳි 1
  6. දෙහි බෑයක යුෂ

 

  • කපාගත් බෙල්පෙපර් වලට ළූණු හා මින්චි කොළ එකතු කරන්න.
  • දැන් මේකට රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න. ඔලිව්තෙල් ටික දාගන්න.
  • අන්තිමට දෙහි යුෂ ටික දාලා කලවම් කරගන්න.

 

2. ස්ටෆ්ඩ් බෙල්පෙපර් ස්ලයිසස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාට 3න් පෙති කපාගත් බෙල්පෙපර්
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් කැරට් අල 1
  4. චොප්කරගත් කහ බෙල්පෙපර් ගෙඩි 1
  5. චොප්කරගත් රතු මිරිස් කරල් 1/2
  6. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  7. චොප්කරගත් කරපිංචා ටිකක්
  8. බිත්තර 3
  9. ලුණු හා ගම්මිරිස්කුඩු
  10. පාන්පිටි මේස හැඳි 1
  11. තෙල් ස්වල්පයක්

 

  • ළූණු වලට චොප්කරගත් අනික් සියල්ලම දාලා බිත්තර එකතු කරගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. පාන්පිටි ටික දාලා හොඳට කලවම් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත් කරගන්න. දැන් කපාගත් බෙල්පෙපර් පෙති ටික අරගෙන පෑන් එක මත අතුරගන්න.
  • හදාගත්ත බිත්තර මිශ්‍රණයෙන් ටික ටික දාල බෙල්පෙපර් පෙති ඇතුළ පුරවගෙන දෙපැත්ත ෆ්‍රයි කරලා කෑමට ගන්න.

 

3. බෙල්පෙපර් ස්ක්‍රැම්බල්ඩ් එග්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1
  2. බිත්තර 2
  3. කිරි මේස හැඳි 3
  4. තෙල් ස්වල්පයක්
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 
  6. බටර් තේ හැඳි 2

 

  • බිත්තර දෙක කඩලා ලුණු, ගම්මිරිස්කුඩු හා කිරි ටික දාලා හොඳට විස්ක් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කපාගත් බෙල්පෙපර්, ලුණු හා ගම්මිරිස්කුඩු රස අනුව දාගන්න. 
  • බෙල්පෙපර් ටික පෑන් එකේ පැත්තකට කරලා බටර් ටික දාගන්න. බටර් දියවෙනකොට බිත්තර මිශ්‍රණය දාගෙන පොඩ්ඩක් ස්ක්‍රැම්බල් කරගන්න. 
  • බෙල්පෙපර් ටිකත් ස්ක්‍රැම්බල් එකට මිශ්‍ර කරමින් පිසගන්න.

 

4. බෙල්පෙපර් පාස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් පාස්ටා කෝප්ප 1
  2. එළවළු තෙල් මේස හැඳි 2
  3. කපාගත් බෙල්පෙපර් පාට 3කින්
  4. කපාගත් ළූණු ගෙඩි 1
  5. තක්කාලි පේස්ට් මේස හැඳි 3
  6. තක්කලි සෝස් මේස හැඳි 2
  7. සෝයා සෝස් මේස හැඳි 1
  8. තම්බාගත් බිත්තර 3

 

  • භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කපාගත් බෙල්පෙපර් හා ළූණු ටික දාගන්න. හොඳට ෆ්‍රයි කරගන්න. ළූණු හොඳට තෙම්පරාදු උනාම තක්කාලි පේස්ට් දාගන්න.
  • ටිකකින් සෝයා සෝස් එකතු කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාල බිත්තර ටික කෑලි කපලා දාගන්න. තම්බාගත් පාස්ටා ටික එකතු කරලා කලවම් කරලා ලිප නිවාගන්න.

 

5. බෙල්පෙපර් මීට්බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප්කරගත් ළූණු ගෙඩි 1
  2. තලාගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි1
  3. මීට්බෝල්ස් පැකට් 1
  4. රම්පේ හා කරපිංචා
  5. ලුණු හා ගම්මිරිස්කුඩු
  6. කහකුඩු තේ හැඳි 1/2
  7. සෝයාසෝස් තේ හැඳි 2
  8. දික් අතට කපාගත් බෙල්පෙපර් පාට 3න් කප් එකක්
  9. ඔලිව්තෙල් මේස හැඳි 2

 

  • මීට්බෝල්ස් ටික දෙකට කපාගන්න. තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට කපාගත් ළූණු හා ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාලා බැදෙන්න අරින්න.
  • මේකට රම්පේ හා කරපිංචා එකතු කරන්න. මීට්බෝල්ස් ටික දාලා හොඳට බැදගන්න. ටිකකින් කපාගත් බෙල්පෙපර් ටික දාගන්න. ලුණු, ගම්මිරිස්කුඩු හා සෝයාසෝස් ටික එකතු කරන්න. ලිපෙන් බාලා ඔලිව්තෙල් ටික ඉසගන්න.

 

6. බෙල්පෙපර් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  2. කපාගත් ළූණු ගෙඩි 1
  3. කපාගත් සුදුළූණු බික් 2
  4. බටර් මේස හැඳි 2
  5. තෙල් ස්වල්පයක්
  6. චිකන් කියුබ් 1
  7. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • තෙල් ටික රත්වෙනකොට ළූණු හා සුදුළූණු ටික දාගන්න. ඊළඟට බෙල්පෙපර් ටික දාල ටික වෙලාවක් තෙම්පරාදු කරගෙන වතුර කෝප්ප 1 1/2ක් දාගන්න. චිකන් කියුබ් එක දාගන්න.
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගෙන පියනකින් වහල විනාඩි 5ක් වගේ හොඳට තම්බගන්න.
  • මේක ලිපෙන් බාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. අවශ්‍ය නම් තව ගම්මිරිස්කුඩු දාලා උණුවෙන්ම රස බලන්න.

 

7. බේක්ඩ් ස්ටෆ්ඩ් බෙල්පෙපර්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බෙල්පෙපර් ගෙඩි 3
  2. අඹරාගත් චිකන් ග්‍රෑම් 100
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. ටොමැටෝ පේස්ට් කෝප්ප 1/2
  5. තෙල් ස්වල්පයක්
  6. පිසගත් බත් කෝප්ප 1
  7. ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
  8. ලුණු හා ගම්මිරිස්කුඩු
  9. ග්‍රේට් කරගත් චීස් ටිකක්

 

  • බෙල්පෙපර් ගෙඩිවල උඩ නටුවට ටිකක් පහලින් කපලා මැද ඇට ටික පරිස්සමට අයින් කරගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට චිකන් හා ළූණු ටික දාගන්න. හොඳට තෙම්පරාදු කරන්න.
  • චිකන් ටික තැම්බීගෙන එනකොට ටොමැටෝ පේස්ට් සහ බත් ටික එකතු කරන්න. ඔයිස්ටර් සෝස්, රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා චීස් ටික දාගන්න.
  • හොඳට කලවම් කරලා තවත් විනාඩි 5ක් වගේ පිසගෙන ලිපෙන් බාගන්න.
  • දැන් සුද්ද කරගත් බෙල්පෙපර් වලට මේ මිශ්‍රණය පුරවන්න. උඩින් තව චීස් ටිකක් ග්‍රේට් කරලා දාගන්න. සෙල්සියස් 180°ට විනාඩි 15ක් බේක් කරගන්න.

 

The post බෙල්පෙපර් වලින් රස කෑම හදමු appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here