බුදු පිළිමවල තිබූ රන් ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

0
3

බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝමධාතු කඩා සොරා ගන්නා සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් අද (08) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45-50ත් අතර වයස් කාණ්ඩවල පසුවන දෙදෙනෙකි. 

ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු නාවලපිටිය කැටපුලාව විහාරස්ථානයේ බුදු පිළිමයේ නළල කඩා රනින් නිමවා තිබූ උර්ණ රෝම ධාතුව රැගෙන ගොස් ඇති බවට විහාරාධිපති හිමියන් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.

ඒ අනුව එම විහාරස්ථානයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ විමර්ශනයයක් සිදු කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් කටයුතු කළහ. 

ඔවුන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වෙත ගොස් බුදු පිළිමයේ හිසට හානි කර ඌර්ණ රෝමධාතුවලින් ලබා ගත් බවට සැක කෙරෙන උණුකර තිබූ රන් පවුම් 30ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. 

එලෙස ලබා ගන්නා රත්‍රං කුරුණෑගල සහ පිළිමතලාව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි කරන පෞද්ගලික ආයතනයක් වෙත ගොස් උණුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණවී තිබේ. 

සැකකරුවන් මෙම හොරකම සිදු කිරීමට භාවිත කරන ලද ත්‍රී රෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලිසිය විසින් ක්‍රියාත්මක කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here