බිළිදාගේ දෑස් වෙත ඔබේ අවධානය වැදගත් වන්නේ මේ නිසයි

0
17


ඇස යනු ශරිරයේ ඉතා කුඩාම අංගයක් වුවච එය සංකීර්ණව සැකසුණු ඉන්ද්‍රියයකි. අපි ලෝකය දකින්නේ ඇසෙනි. දරුවන්ට ඇති විය හැකි අක‍ෂි ආබාධ පිළිබඳව මව්වරුන් දැනුවත් විය යුතු වන්නේ නොදැනුවත්කම දරුවන්ගේ ලෝකය අඳුරු කරන්නට මග විවර කරන බැවිනි.

දරුවන්ට ඇති වන අක‍ෂි ආබාධ තත්ත්වයන් සඳහා ජානමය බලපෑම ද හේතු විය හැකිය. උදාහරණයක් වශයෙන් යම් දරුවෙකුගේ මව/පියා කුඩා වියේදී ජානමය වශයෙන් ඇති වන යම් අක‍ෂි ආබාධයකට ගොදුරු වූයේද එය දරුවාට ද ඇති වීමට ඇති ඉඩ කඩ වැඩිය. අන්න ඒ නිසාම දරුවන්ගේ ඇස් පිළිබඳව අවධානය යොමු කරමින් ගැටලූ සහගත තත්ත්වයන් ඇත්නම් වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුත්තේ මෙවැනි දුර්වලතා බොහොමයක් කුඩා අවධියේදී නිට්ටාවටම සුව කරගැනීමේ හැකියාව ඇති බැවිනි.

ළදරුවෙකු උපත ලබා සුළු මොහොතකින් වටපිටාව දැකිය හැකි වුවද දෙනෙත් හොඳින් විවර කර බැලීමට අපහසු වේ. නමුත් මාස දෙක තුනක් ගත වන කල්හි තම වටපිටාව හොඳින් දැකගැනීමේ හැකියාව ලැබේ. ශරීරයේ ප්‍රධාන පාලක මධ්‍යස්ථානය වන මොළය සහ ඇස අතර ස්නායු වර්ධනය වීම වසර දහයක් පමණ කාලයක් දක්වාම සිදුවන අතරම සාමාන්‍යයෙන් නම් දරුවකුගේ ඇස් නියමාකාරයෙන් වර්ධනය වීම සඳහා දරුවාට වයස අවුරුදු තුනක් පමණවත් සම්පූර්ණ විය යුතුය.

කඳුළු/කබ ගැලීම – ඇතැම් දරුවන්ගේ ඇසෙහි කබ/කඳුළු නාසය ඔස්සේ පිටකරන නාලය සම්පූර්ණයෙන් විවෘතව නොතිබීම නිසා මේ තත්ත්වය ඇති විය හැකිය. වෛද්‍ය උපදෙස් මත බලපෑමට ලක් වූ ඇසේ කෙළවර ඇසේ කබ ස්‍රාවය වන ස්ථානය (Lacrimal Caruncle) සම්බාහනය කිරීමෙන් මේ තත්ත්වය මගහරවා ගත හැක.

සුදු ඉංගිරියාව පෙදෙස රත්පැහැ ගැන් වී තිබීම – ප්‍රසූතියේදී ඇති වන පීඩනය හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි අතරම එය දින කිහිපයකින් මඟ හැරී යයි.

ඇසි පිය ඉදිමීම/සුදු ඉංගිරියා ප්‍රදේශය රතුවීම/කඳුළු, කබගැලීම – අසාදන තත්ත්තවයක් විය හැකිය. අක‍ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

ඇසේ කලූ ඉංගිරියාව වෙත ආලෝකයක් යොමු කරන විට රත් පැහැයක් ගන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් වන අතරම සුදු පැහැයක් ගන්නේ නම් අක‍ෂි වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වේ.

ළදරුවන්, අධික ආලෝක තත්ත්වයකදී ඔවුන් දෙනෙත් හකුලවාගන්නේ ඔවුන් සාමාන්‍යයෙන් ආලෝකයට සංවේදී නිසයි. වයස මාස දෙකක් තුනක් පමණ වන ළදරුවා සෙලවෙන දේවල් දිහා දෙස දෙනෙත් එහා මෙහා කරමින් බලයි. අලංකාර වර්ණවත් දේ පිළිබඳව ඔවුන්ගේ අවධානය/කැමැත්ත  වැඩියි. බහුතරයක් දරුවන් තමන් දකින දේට මෙවන් ප්‍රතිචාර දැක්වුවත් ඇතැම් දරුවන් කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැත. ඒ ඇතැම් විට ඒ එම දරුවාගේ එක් ඇසක පෙනීමේ දුර්වලාතාවයක් තිබිය හැකි නිසාය.

දරුවාගේ ඇස් මේ ආකාරයෙන් පරීක‍ෂා කරන්න. එක ඇසක් අතින් වසන්න, එවිට දරුවා හඬමින් අත ඉවත් කිරීමට උත්සාහ කරයි නම් එවැනි ප්‍රතිචාරයක් අනෙක් පස ඇස වැසූ විට නොමැති නම් ළදරුවාගේ එක් ඇසක යම් ආබාධයක් ඇති බව ඔබට වටහා ගත හැකියි. මෙවැනි තත්ත්වයකදී වහාම අක‍ෂි වෛද්‍යවරයෙකු හමුවී පරීක‍ෂාකරවා ගත යුතු අතරම ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වේ.

ඇතැම් දරුවන්ගේ විටින් විට යම් වපරයක් වැනි ස්වභාවයක් ඔබ දැක ඇති. නමුත් ළදරුවාට මාස හය සම්පූර්ණ වූ පසුවත් මේ තත්ත්වය දැකගත හැකි නම් වහාම අක‍ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. මන්ද ඇසේ වපරය පෙනීමේ දුර්වලතා මත මෙන්ම පෙනීමේ දුර්වලතා මත ඇසේ වපරය ඇති වීම ද සිදු විය හැකි බැවිනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here