බැලූන් එකක නැඟලා සින්දුවකුත් කියාගෙන රට වටේ යන්න තියනවනම්… එහෙම හිතෙනකොටත් මොකද්ද වෙනවා වගේ නෙහ්. එහෙම යන්න පුළුවන් උණුසුම් වායු බැලූන් ගැන තමයි අද අපි කියන්න යන්නෙ… මේ අත්දැකීම කොයි වගේ එකක්ද, මේ අත්දැකීම ගන්න පුළුවන් ලංකාවෙ තැන් මොනවද කියලාත් ඔයාලට මේ ලිපිය කියවලා දැනගන්න ලැබේවි…
1. මොකද්ද මේ බැලූනින් කියන්නෙ?

Image Source – nkartravelhouse.com
බැලූනින් කියන්නෙ සුපිරිම අත්දැකීමක් තමයි. ඒ කියන්නෙ වායු බැලුන් එකක නැගලා උඩින් යන්න පුළුවන් සවාරියක් ගැනයි. මේක ඇත්තටම ගොඩක් ත්‍රාසජනක වගේම විනෝදාත්මක දෙයක්. සාමාන්‍ය සවාරියක් වගේ නෙමෙයි මහ පොළවෙන් අඩි 1000කට වඩා උඩින් කඳු , ගල් උඩින් යන ගමන් කැළෑ වල ඉන්න සත්තු, ලස්සන ගම්මාන උඩින් යන ගමන ඇත්තටම අපූරුයි. එයාප්ලේන් එකක මෙහෙම යන්න පුළුවන් උනත් ඒ අත්දැකීමට වඩා වෙනස්ම විදිහෙ අත්දැකීමක් අපිට බැලූන් ෆ්ලයිට් එකකින් ගන්න පුළුවන්.
2. ලංකාවෙත් දැනට තියනවද?

Image Source – youtube.com
තවමත් අලුත්ම අත්දැකීමක් තමයි මේක ලංකාවට. දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ විතරක් දකින්න පුළුවන් මේ සේවාව සමහරක් විට නාගරික හා කොළඹ ප්‍රදේශයේ අයට නම් පුදුම හිතෙන අත්දැකීමක්.
3. ලංකාවේ බැලුන් සවාරියක අත්දැකීම කොහොමද?

Image Source – flickr.com
මහපොළොවෙන් උඩට අඩි ගාණක් යන මේ බැලූන් එක ගුවන් යානයක අත්දැකීමෙන් වෙනස් වෙන්නෙ මේකෙ අපි විවෘත අවකාශයෙ යන නිසා. ඇත්තටම මේකෙ යම් අවදානමක් නැතුවම නෙමෙයි. ඒත් පළපුරුදු, මනා නඩත්තුව හා පාලනයක් සහිත දක්ෂ නියමුවන් සිටින විශ්වාසවන්ත ආයතනයක් මගින් අපිට මේ සේවාව ලබාගන්න බයවෙන්නෙ දෙයක් නෑ.
ලංකාවෙනම් ගොඩක්ම බැලූනින් ටාගට් කරන්නෙ විදේශිකයන්ව තමා. විනාඩි 90ක සවාරියක් තමා සාමාන්‍යයෙන් අපිට ලැබෙන්නෙ. උදේ ඉර පායන්න කලින්, ඒ කියන්නෙ පාන්දර 5ට විතර තමයි මේක ගුවන්ගත කරන්නෙ. හිතා බලන්නකො ඉර පායගෙන එනකොට අහසෙම ඉඳන් ඒක බලන්න පුළුවන්නම් ඒක කොච්චර අසිරිමත් සිදූවීමක්ද?
බැලූනයක් ගුවන් ගත කරනකොට සෙමින් ගෑස් මුදාහරිමින් තමයි ඒ වැඩේ කරන්නෙ. අඩි 500කට වඩා උඩට ගියාම නියමුවා බැලූනය හුළං තියන දිශාවට යන්න සෙමින් ගෑස් මුදාහරිනවා. නැත්තන් බැලූනය හුළඟට ඕනෙ විදියට යනවනෙ ඒකයි. කණ්ඩලම ප්‍රදේශයේ කුඹුරු,වතුපිටි උඩින් ගමන් ගන්න මේ බැලූන් එකට දඹුල්ල – පොළොන්නරුව පාර පේන්නෙ හරියට පීත්ත පටියක් වගේ. ඒ පැත්තෙ තියන කඳු වලටත් වඩා උඩින් තමයි බැලූන් එක යන්නෙ. එතකොට අපිට සීගිරි ගල, දඹුලු විහාරය,රිටිගල,අරංගල කන්ද, යක්කුරාගල, පිදුරංගල කන්ද වගේ කඳු ගොඩාක් උඩට ලස්සනට බලාගන්න පුළුවන්. ඒ වගේද බැලූන් එකේ හෙවනැල්ලත් එක්ක යන ගමන. ඒක නම් සුපිරිම හා නැවුම්ම අත්දැකීමක් කියලා අපිට සීයට දාහක් විශ්වාසයි.
4. ඒකට යන කොස්ට් එක කොහොමද?

Image Source – amjatravels.com
විදේශිකයන්ට නම් මේකෙ අය කරන මුදල ඉතාම සුළු මුදලක්. ඒ උනාට අපේ ලංකාවෙ කෙනෙක්ට නම් ඒක රුපියල් 25,000ක් වගේ ටිකක් විශාල මුදලක් වෙනවා. ඒ මොකද මේකට යන පරිපාලන හා නඩත්තු වියදම ගොඩක් වැඩි නිසා.ඒ වගේම එකපාරකට යන්න පුළුවන් සීමිත මඟීන් ප්‍රමාණෙකට විතරයි. ඒ වගේම දවසකට එකපාරයි ගුවන්ගත වෙන්නෙත්. ටීම් එකක් එකතු වෙලා ගිහින් මේ අත්දැකීම ගාණක් ගෙවලා විඳගත්තත් පාඩුවක් නම් වෙන්නෙ නෑ ඒක ශුවර්.
5. වසරේ කොයි කාලෙටද අපිට මෙහෙම යන්න පුළුවන්?

Image Source – picgra.com
ලංකාවේනම් මේ බැලූනින් සේවාව තියෙන්නෙ නොවැම්බර් – මැයි අතර මාස 6ක් වගේ තමා. මොකද ඒ කාලෙට සුළං හැමීම සතුටුදායකයි වගේම අවුරුද්දෙ ඉතිරි මාස කිහිපය අසමතුලිත ලෙස සුළං හැමීම හා වැසි කාළගුණය නිසා බැලූන ගුවන්ගත කරන්න බැරිවෙන නිසයි. මොකද මේ බැලූන් එක ගුවන්ගත කරන්න යහපත් කාළගුණයක් ඕනෙමයි.
6. බැලූනයේ යනකොට තියන ආරක්ෂාව

Image Source – trabanatours.com
වායු බැලූන් ගුවන්ගත කරන්න කලින් සළකා බලන ගොඩක් කරුණු තියෙනවා. මුළින්ම අදාළ ප්‍රදේශයේ ගුවන් හමුදා මධ්‍යස්ථානයෙන් දිනපතාම අවසර අරගෙන තමයි මේ ආයතන මේ කටයුත්ත සිදු කරන්නෙ. එහෙම කරන්නෙ ගුවන් යාන හැසිරීම ස්ථීර කරගන්නයි.ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි ආයතන වලට පමණයි වායු බැලූන් සේවාව සපයන්න පුළුවන්කම තියෙන්නෙ. එක්වරකට ගුවන්ගත කරන්න රු.50,000/=ක විතර ගෑස් යනවා කියලයි අපිටනම් ආරංචි උනේ. පාන්දරට බැලූනයට වායුව පුරවනකොට ටික ටික බැලූනය ඉහළට එසවෙනවා. ඒකට සවි කරලා තියන බහාලුමේ උපරිම වශයෙන් 16 දෙනෙක්ට ගමන් කරන්න පහසුකම් තියනවා. ඉතාම ආරක්ෂාකාරී විදියට තමයි මේ කටයුත්ත සිදුවෙන්නෙ. සියළුම ආරක්ෂක උපක්‍රම සුදානම් උනාම බැලූනය බැඳලා තියන ලණු වලින් නිදහස් කරනවා. එතකොට පාවෙවී යන්නයි තියෙන්නෙ. උඩුගුවනෙ ඉඳලා පහල ලස්සන දේවල්, සත්තු එහෙම බලල ඉවර වෙලා මේ බැලූන් එක ගොඩක් ආරක්ෂාකාරී විදියට බොහොම සාර්ථකව කුඹුරකට හරි පිට්ටනියකට හරි බස්සවනවා. ඉතින් ඒ ගම්වල වැසියන් හරි ආසයිලු මෙහෙම බැලූනය ලෑන්ඩ් කරනකොට.
ඒ වෙනකල් බැලූනයත් එක්කම පහළ මාර්ගවලින් ධාවන වන ලොරි රථය ඒ තැනට එනවා. ඒ වගේම අපිව ආපසු ගෙනියන්න හොටෙල් එකේ ට්‍රාන්ස්පෝට් එකත් එතනට ඇවිල්ලා ඉඳීවි. ඒ වගේම ලෑන්ඩ් කළාට පස්සෙ ශැම්පේන් වීදුරුවකින් පොඩි සංග්‍රහයකුත් ලැබෙනවා.
7. ලංකාවේ බැලූනින් සර්විස් සපයන ආයතන

Image Source – pikdo.net
ලංකා බැලූනින් සර්විස් ආයතනය හා සන් රයිස් බැලූනින් ආයතනයෙන් අපිට මේ අත්දැකීම විඳගන්න පුළුවන්. මේක ඉතාම මිල අධික අත්දැකීමක් උනත් ජීවිතේ එකපාරක් හරි විඳින්නම ඕනෙ දෙයක්
Lanka Ballooning (Pvt)Ltd
ලිපිනය
පළමු සැතපුම් කණුව, බටුයාය, කණ්ඩලම පාර, දඹුල්ල.
දුරකථන අංකය – 077 472 7709
Sunrise Ballooning (Pvt)Ltd
ලිපිනය
සිසිරවත්ත, කණ්ඩලම පාර, දඹුල්ල.
දුරකථන අංකය – 077 352 2013
The post බැලූන් ෆ්ලයිට් එකක ටුවර් එකක් යමුද? appeared first on Lifie.LK.
Saru FM Media