දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන ලද ගල් අඟුරු තොග කිහිපයක් නියමිත ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් ඉදිරියේදී විදුලි අර්බුදයක් මතුවිය හැකි බවට ඇති වූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙම ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දූෂිත එකක් බවට විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ලවී තිබේ.
ඒ අනුව අනාගත ටෙන්ඩර් ක්‍රියාවලීන් වඩාත් පාරදෘශ්‍යව පවත්වා ගැනීමට ගත හැකි පියවර පිළිබඳවද, දැනට ක්‍රියාත්මක ටෙන්ඩරයේ සංශෝධන සිදු කළ හැකිද යන්න පිළිබඳවද නීතිපති උපදෙස් ලබා ගැනීමට සැලැසුම් කර ඇති බව පැවසේ.
ලක්විජය ගල් අඟුරු විදුලිබල පරිශ්‍රයේ අභ්‍යන්තර ලේඛන අනුව, ඉන්දියාවේ Trident Chemphar Ltd සමාගම හරහා මිලදී ගන්නා ලද දකුණු අප්‍රිකානු ගල් අඟුරු තොග තුනක අඛණ්ඩ සාම්පල පරීක්ෂණ අසාර්ථක වී ඇති බව හෙළිවී තිබේ.
නිල දත්ත අනුව, එක් එක් ගල් අඟුරු තොගයේ Gross Calorific Value (GCV) අගය, බලාගාරයේ ඒකක තුනේ කාර්යක්ෂම විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතියට වඩා සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතින බව සනාථ වී ඇත.
මෙම ටෙන්ඩරය යටතේ ගල් අඟුරු නෞකා 23ක් මිලදී ගෙන තිබේ.
අඩු ගුණාත්මක ගල් අඟුරු සැපයුම දිගටම පැවතිහොත්, ඉදිරියේදී විදුලි නිෂ්පාදන ධාරිතාවට දැඩි බලපෑම් එල්ලවී විදුලි හිඟයක් මතුවිය හැකි බවට වාර්තා වේ.
සබැඳි පුවත්
Saru News













