පොළේ තියෙන විදිහට පළතුරු වලින් කටට කෙල උනන අච්චාරු හදමු

0
12


ඉස්කෝලේ කාලෙට යන්න ආසද.. ඒ කාලේ අපි ගස් වලට පොළු ගහලා කඩාගන්න පළතුරු වලින් අච්චාරු හදාගෙන කන එක නුපුරුදු දෙයක් නෙමෙයිනේ… ඉතින් ඔන්න එදා කාපු අච්චාරු තවත් රස වැඩි කරලා හදාගන්න විදි ටිකක් තමයි අද කියලා දෙන්න හදන්නෙ.

01. වෙරළු අච්චාරු

වෙරළු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:-
වෙරළු ගෙඩි 20
මිරිස් කුඩු තේහැඳි
ලුණු හා ගම්මිරිස් කුඩු
කෑලිමිරිස් ස්වල්පයක්
සීනි තේහැඳි 2

  • වෙරළු ටික ලුණු දාලා 80% හොඳට ගින්දර දාලා තම්බගන්න(වෙරළු ගෙඩිය පුපුරනකල්).
  • වතුර පෙරාගන්න.
  • වෙරළු ටික වංගෙඩියට දාලා පොඩ්ඩක් කොටා ගන්න.
  • වෙරළු තම්බපු වතුර වලින් ටිකක් අරන් මේකට සියඹලා මද 5-6ක් දාලා හොඳට පොඩිකරගන්න.
  • මේකට මිරිස්කුඩු හා අනික් සියල්ලම දාලා කලවම් කරගන්න.
  • දැන් මේකට වෙරළු ටික දාලා කලවම් කරගන්න.

02. ලොවි අච්චාරු

ලොවි අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:-
ලොවි ගෙඩි 20 පමණ
ලුණු හා ගම්මිරිස්කුඩු
සීනි මේසහැඳි 1-2
විනාකිරි මේසහැඳි 2
කෑලිමිරිස් තේහැඳි 2

  • ලොවි ටික සෝදලා මිරිස්ගලේ තියලා අත් ගලෙන් හොඳටම තලාගන්න.
  • ඊලඟට මේක භාජනයකට දාලා ලුණු වතුර ටිකක් දාලා කහට යන්න මිරිකාගන්න.
  • දැන් මේක හොඳ වතුරෙනුත් හෝදලා වතුර මිරිකලා ගන්න.
  • දැන් මේකට අනික් සියල්ලම දාලා හොඳට අනාගන්න.

03. අන්නාසි අච්චාරු

අන්නාසි අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:-
තරමක කෑලි කපාගත් අන්නාසි ගෙඩි 1
වතුර කෝප්ප 1
විනාකිරි කෝප්ප 1/2
ලුණු හා ගම්මිරිස්කුඩු
මිරිස්කුඩු තේහැඳි 1
කෑලිමිරිස් තේහැඳි 2
සීනි මේසහැඳි 1

  • මැටි ඇතිලියක් ලිපේ තියලා මේකට අන්නාසි හැර අනික් සියල්ලම දාලා කලවම් කරගන්න.
  • හොඳට රත්වෙනකොට ලිපෙන් බාලා අන්නාසි ටික දාලා කලවම් කරගන්න.

04. ජම්බු අච්චාරු

ජම්බු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:-
හොඳට ඉදුණු ජම්බු ගෙඩි 15-20 පමණ
සීනි මේසහැඳි 1
මිරිස්කුඩු තේහැඳි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
කෑලිමිරිස් තේහැඳි 2
කෑලිමිරිස් තේහැඳි 1
වතුර කෝප්ප 1/4

  • ජම්බු වල ඇට අයින් කරලා කපාගන්න.
  • පෑන් එකට සීනි ටිල දාලා රත්වෙන්න තියන්න.
  • සීනි දියවුනාම වතුර හා අනික් සියල්ලම දාලා ග්‍රේවි එකක් හදාගන්න.
  • මේකට කපාගත් ජම්බු ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.

05. දිවුල් අච්චාරු

දිවුල් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:-
ගැට දිවුල් ගෙඩි 2
සීනි තේහැඳි 2
මිරිස්කුඩු තේහැඳි 2
ලුණු ස්වල්පයක්
ගම්මිරිස්කුඩු ස්වල්පයක්
කොච්චි ස්වල්පයක්

  • දිවුල් ගෙඩි දෙකට පලලා හිරමනෙන් ගාගන්න.
  • දැන් මේකෙ තියන කහට ගතියන යන්න ලුණු ටිකක් වතුරෙ දියකරලා මේ ගාපු දිවුල්වලට දාලා හොඳට මිරිකලා ගන්න.
  • ඊලඟට මේකට ආයෙ ලුණු දාන්න එපා.
  • වංගෙඩියකට කොච්චි, ගම්මිරිස්කුඩු හා මිරිස්කුඩුදාලා හොඳට කොටාගන්න.
  • මේකට මිරිකාගත් දිවුල් ටික ටික දාලා සීනි ටිකත් දාලා හොඳට කොටාගන්න.

06. අඹ අච්චාරු

අඹ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:-
අමු අඹ ගෙඩි 2
මිරිස්කුඩු තේහැඳි 2
කොච්චි ස්වල්පයක්
සීනි තේහැඳි 2
ලුණු කැට ස්වල්පයක්
ගම්මිරිස්කුඩු

  • මුලින්ම අඹ වල ඇස්ස කපලා සෝදලා ගෙඩිය එහෙම්මම තියෙද්දි උල් පිහියකින් ඇටය පරෙස්සමට අයින් කරගන්න.
  • දැන් ඒ හිලඇතුළට අනික් සියල්ලම දාලා පිහි මිටෙන් හොඳට කොටාගන්න.
  • ඊලඟට ගෙඩිය දෙකට කපලා හැන්දකින් කන්න.

07. ඇඹරැල්ලා අච්චාරු

ඇඹරැල්ලා අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:-
පොතු අයින් කරගත් ඇඹරැල්ලා ගෙඩි 6-7
කෑලිමිරිස් තේහැඳි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
විනාකිරි මේසහැඳි 2
සීනි මේසහැඳි 1

  • මුලින්ම ඇඹරැල්ලා ටික වංගෙඩියට දාලා හොඳට කොටාගන්න.
  • ඊලඟට මේක භාජනයකට දාලා අනික් සියල්ලම දාලා හොඳට අනාගන්න.
  • බලන්න රස කොහොමද කියලා…

 

වෙනස්ම විදියක අච්චාරු (පිකල්) ජාති ටිකක් හදලම රස බලමුද?

The post පොළේ තියෙන විදිහට පළතුරු වලින් කටට කෙල උනන අච්චාරු හදමු appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here